ITN මිනිස් බිල්ලක හෝ ලේ සෙලවීමක අවදානමක්..

සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අයි.ටී.එන්. සේවක මර්ධනය නවතනු.

පසුගිය වසර තුනකට ආසන්න කාලයේදී රාජ්‍ය මාධ්‍ය ආයතන බරපතල මුල්‍ය කඩාවැටීම්වලට ලක්ව තිබෙන බව පෙනෙන්නට තිබේ. මේ වන විටත් රාජ්‍ය මාධ්‍ය අයතනවල වෘත්තීය සමිති සහ සේවකයන් විසින් ගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගවලින් මේ බව මනාව පැහැදිලි වේ. එහි ආසන්නතව සහ උච්චතම අවස්ථාව මේ වන විට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තුළින් දක්නට ලැබේ. පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා සිදුවු ආණ්ඩු පෙරළියත් සමගම රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි පසුගිය පාලනාධිකාරීන් විසින් සිදු කළ දුෂණ ,වංචා සහ අක්‍රමිකතා අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් නැවතත් එක්සත් ජාතික පක්ෂ නව රජය ඇති වීමත් සමගම රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත පසුගිය එ.ජා.ප රජය සමයේ චෝදනාවන්ට ලක් වු සභාපතිවරුන් ප්‍රමුඛ පාළනාධිකාරිය එළෙසම පත් කොට තිබේ. මේ නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන කීපයකම සේවක නොසන්සුන්තාවන් වර්ධනය වෙමින් පවතින බව අප වෙත වාර්තා වී තිබේ.

මෙවැනි පසුබිමක ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ හිටපු පාළනාධිකාරිය විසින් එම මාධ්‍ය ජාලයට අයත් ස්ථාවර තැන්පතු මුදලින් රුපියල් කෝටි 64 ක් ලබා ගෙන අනවශ්‍ය ලෙස වියදම් කොට මුල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇතැයි එම ආයතනයේ සේවකයෝ චෝදනා කරමින් පසුගිය දින කීපයේදීම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටිති. පසුගිය පාළනාධිකාරිය යළිත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට පත් කිරීම සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු වී තිබේ.

සමස්ථ සේවකයන්ගේ හඩට කන් නොදී ජනමාධ්‍ය ඇමැතිවරයා ඇතුළු රජය විසින් යළිත් පසුගිය පාළනාධිකාරිය යළිත් ස්වාධීන රූපවාහිනී මධ්‍ය ජාලයට පත් කිරීම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ප්‍රධාන හේතුව වෙයි. එසේ නම් “යහපාලන සංකල්ප“ පෙරදැරිව “ලිච්ඡවි“ ක්‍රමයට ප්‍රශ්න විසඳන බවට සඵත කළ අගමැතිවරයකු යටතේ සිදු කළ යුත්තේ සේවක හඩට කන් දෙමින් පසුගිය පාළනාධිකාරිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට වරදක් සිදුව ඇත්දැයි විමර්ෂණය කිරීමය.

එසේ නොමැතිව දුෂණ, වංචාවන් පෙන්වා දෙමින් සේවකයන් විසින් කරනු ලබන වෘත්තීය අරගලය රාජ්‍ය බලය මගින් යටපත් කිරීම සදාචාරාත්මක අගයන් පෙරදැයි කර ගත් බව පවසන රජයකට සිදු කළ නොහැක්කකි.

2019/01/01 නව වසර සම්ප්‍රාප්තියත් සමගම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ දුෂණ වංචාවන්ට විරුද්ධ සේවකයන් 13 දෙනකුගේ වැඩ තහනමට ලක් කොට තිබේ. තවත් සේවකයන් 40 දෙනකුට ආසන්න පිරිසක් වැඩ තහනමට ලක් කිරීමේ සුදානමක් ඇති බවද එහි සේවකයෝ පවසති.

කෙසේ වෙතත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවකයන් විසින් පක්ෂ භේදයෙන් තොරව සිදු කරනු ලබන අරගලය “මිනිස් බිල්ලක් ගැනීමෙන් හෝ ලේ සෙලවීම්වලින් “අවසන් වුවහොත් එය බරපතල ඛේදනීය තත්ත්වයකි.

එබැවින් මේ තත්ත්වය පාළනය කිරීම උදෙසා මැදිහත් වන ලෙස මාධ්‍ය සංවිධානයක් ලෙස අප අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

පවතින රජය සහ ජනමාධ්‍ය ඇමැතිවරයා විසින් සේවක හඩට කන් නොදී යළිත් දුෂණ වංචා චෝදනා නැගී ඇති පසුගිය පාළනාධිකාරිය එම ආයතනයට පත් කිරීම ගැටලුවට හේතු වන බැවින් එම ප්‍රශ්නය විසඳීමට ජනමාධ්‍ය ඇමැතිවරයා කටයුතු නොකරන්නේ නම් “ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ජනාධිපතිතුමා යටතට පවරා ගෙන හෝ“ අදාළ ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙස අප ජනාධිපතිතුමාගෙන් යළිත් ඉල්ලා සිටිමු.

එසේම වැඩ තහනමට ලක් වු ස්වාධීන රූපවාහිනී සේවයේ සේවකයන් 13 දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවන ලෙසත් සේවක මර්ධනය වහා නවතන ලෙසත් අප අවධාරණය කරමු.

සේවකයන්ගේ ස්වාධීන වෘත්තීය අරගලයන් රාජ්‍ය බලය යොදා ගෙන මර්ධනය කිරීම ශිෂ්ඨ සම්පන්න රජයකට සුදුසු නොවන බවත් එය දුෂණයට සහ වංචාවට විරුද්ධ ජනතාවගේ අප්‍රසාදයට හේතු වන බවත් අප අවධාරණය කරමු.

චන්දන බණ්ඩාර
සභාපති සහ සම කැඳවුම්කරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *