ජීවන් මෙන්ඩිස්ගෙන් වාර්තාවක්..

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිමාවට පත් වූ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම අතර තරගයේදී ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ජීවන් මෙන්ඩිස් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සමත්විය.

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ‘ඒ’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම පන්දුවාර 82කදී සියලුදෙනා දැවී ලකුණු 245ක් ලබා ගත් අතර රුවිඳු ගුණසේකර ලකුණු 66ක් සහ ප්‍රශාන් වික්‍රමසිංහ ලකුණු 59ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. තවද එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ජීවන් මෙන්ඩිස් ලකුණු 53කට කඩුලු 9ක් දවා ගැනීමට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පන්දුවාර 105කදී සියලු දෙනා දැවීගොස් ලකුණු 416ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ජීවන් මෙන්ඩිස් ලකුණු 106ක් සහ සිතාර ගිම්හාන් ලකුණු 105ක් ලබා ගත්තේය. අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ එක් ඉනිමක් තුළ කඩුලු 9ක් දවා ගනිමින් සහ එම තරගයේදීම පන්දුවට පහරදෙමින් ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා වශයෙන් මෙම තරගයේදී ජීවන් මෙන්ඩිස් වාර්තා අතරට එක්විය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම තුන්වැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 76කදී කඩුලු 8කට ලකුණු 296ක් රැස්කරගෙන සිටි අතර එහිදී අදීශ නානායක්කාර ලකුණු 137ක් සහ ගයාන් මහීෂාන් ලකුණු 65ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ජීවන් මෙන්ඩිස් ලකුණු 106කට කඩුලු 3ක් දවා ගත් අතර ඔහු මෙම තරගයේදී ඉනිම දෙකේදීම කඩුලු 12ක් දවා ගැනීම කැපී පෙනිණි.

වරාය අධිකාරි පළමු ඉනිම _ (පන්දුවාර 82කදී සියල්ලන් දැවී) ලකුණු 245 (රවිඳු ගුණසේකර 66, ප්‍රශාන් වික්‍රමසිංහ 59, ජීවන් මෙන්ඩිස් 53/9)
ටැමිල් යූනියන් පළමු ඉනිම _ (පන්දුවාර 105.5කදී සියල්ලන් දැවී) ලකුණු 416 (ජීවන් මෙන්ඩිස් 106, සිතාර ගිම්හාන් 105, ඉමේෂ් උදයංග 147/6)
වරාය අධිකාරි දෙවැනි ඉනිම _ (පන්දුවාර 76කදී කඩුලු 8කට) ලකුණු 296 (අදීශ නානායක්කාර 137, ගයාන් මනීෂාන් 65, ජීවන් මෙන්ඩිස් 106/3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *