Menu

සංගාගේ බෙල්ලෙන් ඇල්ලීම හා වැටුණු වළෙන් ගොඩ ඒම ගැන…

July 16, 2017

සිකන්දර්ලා, මැසකඩ්සලා, මුසකන්ඩා හා චතාරලා ගිය සඳුදා (10 දා) ‘හොඳ’ වැඩක්‌ කළෝය. එනම් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නම් බැලුම පුපුරා දැමීමයි. වළක වැටීම මොළයට ලාභයකි. ඇඟිලි දික්‌කරගෙන අනෙකාට බැණ වැදීමෙන් මිදී දැන් නම් තම තමන්ගේ ඇතුළටම හැරී ඇත්ත දෙස නිරුවත් දැසින් බැලිය යුතු මොහොත පැමිණ තිබේ.

ගිය පහළොස්‌ වසර තුළ ජාත්‍යන්තර ක්‍රිකට්‌ තුළ හිස එසවූ කෲරතර වූ ද අන්තගාමී වූ ද ‘වාණිජත්වය’ නම් උගුලේ හසුවුණු ‘ලාංකීය ක්‍රිකට්‌’ තරුණයා අද පණ අදිමින් මරණාසන්නව සිටී. ප්‍රශ්නය ‘ගිරවු – රිලව් මායිමෙන්’ ඔබ්බට ගෙන නොගියහොත් ශ්‍රී ලාංකිකයාගේ ‘හදවතේ ක්‍රීඩාව’ තව අවුරුදු පහකින් වත් යළි හිස නොඔසවනු ඇත.

නවසිය අනූව දශකය මැද ලෝකයේ ඉහළටම ආ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ඊට පසු දශක දෙක තුළ අත්වින්ඳේ ලෝක ක්‍රිකට්‌ ක්‍රීඩාවේ වඩා බලගතුම මිල – මුදල් මුල්කරගත් වාණිජත්වයකටයි. විස්‌සයි – විස්‌ස හඳුන්වාදීමත්, අයි. පී. එල්. ප්‍රමුඛ ලීග් තරගාවලි ක්‍රමයේ ආරම්භයත් විසින් ක්‍රිකට්‌ ‘මහත්මයා’ අඩාලකොට ක්‍රිකට්‌ ‘බිස්‌නස්‌කාරයා’ නැඟී හින්දුවේය. මේ නිසා පැරැණි ක්‍රීඩාවේ සාරයන් හා පරමාදර්ශ කඩාවැටුණේ ඇතැම් විට මෙහි වඩා ප්‍රබලම සමාජ විද්‍යාඥයන් පවා අන්දමන්ද කරවමිනි.

ක්‍රීඩාවෙන් මේ යුගය තුළ හිස එසවූ මහේලවත්, සංගාවත් නැඟී ආ නව ‘ක්‍රමය’ ප්‍රශ්න නොකළහ. එනිසාම ඔවුන් ක්‍රිකට්‌ ශූරයන් මිස බරපතළ ‘චරිත’ නොවනු ඇත.

දැන් අර්ජුනට සවන් දෙමු. ඔහු විසින් වත්මන් අර්බුදය ගැන කතාකරද්දී ඊට බලපාන මූලික හේතු තුනක්‌ දක්‌වයි.

I. ඔට්‌ටු අල්ලන බිස්‌නස්‌කාරයන් ක්‍රිකට්‌ පරිපාලනය ඇතුළට වද්දාගැනීම.

II. මහේල, සංගා යන ජ්‍යෙෂ්ඨයන් යටතේ ලංකාව අයි. පී. එල්. ආදී වාණිජ ක්‍රිකට්‌ ලීග් දෙසට ඇදී යැම හා

III. සංගා – මහේල මූලිකත්වයෙන් මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව ඒජන්තයන්ගේ වහලෙක්‌ හා කෙළිබිමක්‌ බවට පත්කිරීම.

අර්ජුනගේ දේශපාලන භාවිතාව හොඳටම ප්‍රශ්නකාරී වුණත් එයාගේ ක්‍රිකට්‌ විශ්ලේෂණය නම් ප්‍රශස්‌තයි. මාධ්‍ය පවා ‘ඇටෑක්‌ කිරීමට’ පසුබට වන සංගක්‌කාරගේ බෙල්ලෙන්ම ඇල්ලීම ඔහු ඉටුකරන කාලීනම යුතුකමකි.

ඒ එම ක්‍රීඩාවේ ලස්‌සනම, වැදගත්ම, පවිත්‍රම, බුද්ධිමත්ම (එළම කිරි) ප්‍රතිරූපය කළ දේ නොව නොකළ දේ නිසා ‘අපේ ක්‍රිකට්‌ අද කන කෑම’ ඉන් ඉතා විද්‍යාත්මකව විවේචනය වන නිසාය.

සංගා හා මහේල ගියේ ටීම් එකේ අනාගතයට ශක්‌තිමත් පදනමක්‌ හදල නොවේ. එයාල ගිහිල්ල නිකං හිටියෙත් නෑ. සංගා එංගලන්තෙ පළමු පෙළ ශතක ගහන කොට ‘අපි’ මෙහේ බංගලාදේශයටත් පැරදුනා. වෙළෙඳ දැන්වීම් යාන්ත්‍රණයටවත් ලීග් සල්ලි පස්‌සෙ යැමටවත් ක්‍රීඩක ඒජන්ත ක්‍රමයටවත් මෙයාල විරෝධයක්‌ දක්‌වනු වෙනුවට කළේ එයාලත් ඒ පිටුපස ගාල කඩාගෙන දිවයැම නොවේද?

යුග පුරුෂයෙක්‌ බඳු දැවැන්ත චරිත වීමට ඔවුනට වෙනස්‌වන ක්‍රිකට්‌ ලෝකය විසින් බල කළා වුණත් එම යුග වගකීම සංගාවත්, මහේලවත් භාරගත්තේ නැත.

‘ඔයාගෙ ළමයින්ට දවසකට ඔයා කෝලා බීම බෝතල් කීයක්‌ දෙනවද?’

සංගාගෙන් දැන් අපට ඇසීමට ඇත්තේ එයයි.

“කළින් රජය ඔට්‌ටුකාරයන්ව බෝඩ් එකෙන් එළියෙන් තියද්දි අපි එයාලව ඇතුළට දාගත්තා. එයයි විනාශයේ මුල. අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ අයි. පී. එල්. පස්‌සේ වැඳ වැටුණා…….චාලි ඔස්‌ටින් කියන ක්‍රීඩක ඒජන්තයා මුල් වුණු මාෆියාවක්‌ ජාතික ක්‍රිකට්‌ පිළ සිය ග්‍රහණයට ගත්තා….. සිම්බාබ්වේට පැරදුනාම ලෝක ඔට්‌ටු ජාලයම කැළඹුණා. සමහරු එයින් කෝටි ගණන් හම්බ කළා…….2011 ලෝක කුසලාන අවසන් තරගයේදී සිදුවූයේ කුමක්‌ද?…….සුදු පිරිවටයෙන් සැරසුනු ක්‍රීඩකයන්ගේ ඇතුළ මම හොඳට දන්නවා. කවදාහරි එළියට දානව”.

අර්ජුන හරහා එන ඉහත කාරණා ‘වළෙන් ගොඩඒමට’ හොඳ මඟක්‌ විවර කරන බව පෙනේ.

මෙරට ක්‍රිකට්‌වල කඩාවැටීම පිටියෙන් එයා පැතිරුණු පුළුල් කලාපීය ගැටලුවක්‌. මේ හානිකර පුළුල් ක්‍රමයට එරෙහිව යන ක්‍රම – විරෝධී නැඹුරුවකින් මිස අපේ කාලයේ මේ ක්‍රිකට්‌ කර්මාන්තය තුළ අපට ආයේ නම් ස්‌ථාවර නැඟිටීමක්‌ හිතා ගැනීම අපහසුය.

ඉක්‌මන් උත්තර දෙකකි. එක්‌කෝ ඉහළ දේශපාලන තලයේ වෙනසක්‌. නැත්නම් ක්‍රිකට්‌ පරිපාලනයට රැඩිකල්, විප්ලවවාදී නව පරිපාලකයකු ගෙනඒම. දෙවැන්න සඳහා නම් දැනට තිබෙන හොඳම විකල්පය අර්ජුන රණතුංග නම් (දේශපාලකයා නොව) ‘පරණ විදිහට, පරණ කලාවට හිතන’ නමුත් දඩබ්බර අණක්‌ ගුණක්‌ නැති එඩිතර ක්‍රියාකාරිකයායි.

රේවත එස්‌. සිල්වා

වැඩිපුරම කියැවූ පුවත්