Menu

‘රටේ ජනතාව බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා අගමැති කරන්න’… මහින්දව අගමැති කිරීමට මෛත‍්‍රී එකග වෙයි

July 15, 2017

මහජනතාවට පමණක්‌ නොව රජයේ මැති ඇමැතිවරුන්ට පවා ප්‍රශ්නයක්‌ වී ඇත්තේ “මේ ආණ්‌ඩුව මොකද කරන්නේ…” යන්නය. ඒ ප්‍රශ්නය ප්‍රශ්න ගණනාවක්‌ ඔස්‌සේ අසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පවත්වනු ලැබූ සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි පසුගියදා කැබිනට්‌ තීරණ දැනුම් දීමේ පුවත් පත් සාකච්ඡාවේදී අනාවරණය වුණා, කැබිනට්‌ මණ්‌ඩලයේදී ඔබ විසින් ඇමැතිවරුන්ට දෝෂාරෝපණය කරන ලද බව. දූෂණ චෝදනා සෙවීම සඳහා වන යාන්ත්‍රණය සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් භාවයක්‌ නොමැති ද…?

පිළිතුර – මෙතැන තිබෙන ප්‍රධානම කාරණය තමයි, කැබිනට්‌ මණ්‌ඩලයේ සිදුවූ දේවල් අභ්‍යන්තර කාරණා නිසා මම ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට ලබා දුන් ප්‍රධාන ඡන්ද පොරොන්දුවක්‌ වුණේ මේ දූෂණ චෝදනා විභාග කිරීමයි. කලින් තිබුණු ආණ්‌ඩුව වෙනස්‌ කරන්න ජනතාව තීරණය කළේ ඇයි…? මාව ජනාධිපති බවට පත් කරපු මැතිවරණ ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම තමයි මගේ වගකීම. දූෂිත පවුල් පාලනයකට විරුද්ධව සහ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා තමයි, ජනතාව මේ වෙනස කළේ. ඉදිරි කාල සීමාවේදී ආණ්‌ඩුව ජනප්‍රිය කරවීම සඳහා මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ. ගමේ භාෂාවෙන් කියන හොරු ඇල්ලීම සඳහා ආණ්‌ඩුව කටයුතු කරනවාද නැද්ද කියන එක දෙස ජනතාව බලාගෙන සිටිනවා.

රාජ්‍ය නිලධාරීන්, පොලීසිය වේවා, නීතිපති දෙපාර්තමේන්තුව වේවා, අධිකරණ ක්‌ෂේත්‍රය වේවා, ඒ සෑම කෙනෙකුගෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ අපක්‌ෂපාතිත්වය, මධ්‍යස්‌ථභාවය සහ ස්‌වාධීනත්වය. දේශපාලන පළිගැනීම් වලින් තොරව කවුරු හෝ කෙනෙක්‌ වැරදි, දූෂණ, වංචා කරලා තියෙනවා නම්, ඒවාට විරුද්ධව කටයුතු කිරීම. මේ රට තුළ කතා බහ කරන ප්‍රධාන මාතෘකා වූ කාරණා ගණනාවක්‌ තිබෙනවා. පසුගිය ආණ්‌ඩුව කාලයේ සහ මේ අවුරුදු දෙකහමාර ඇතුළත සිදුවූ ඒ දේවල් පිළිබඳව ඉක්‌මන් පරීක්‌ෂණ කළ යුතු වෙනවා. පුවත්පත් කර්තෘවරයෙකු වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, එක්‌නැලිගොඩ අතුරුදහන් වීම, එල්ටීටීඊයට කිසිදු සම්බන්ධයක්‌ නැති දරුවන් එකොළහක්‌ අතුරුදන් වීම වැනි කාරණා පිළිබඳව සෙවීම අනිවාර්යයෙන් ඉටුවිය යුතුයි. මහජනතාව බලාපොරොත්තු වෙන, අපිත් බලාපොරොත්තු වෙන ඒ කරුණු කාරණා ඉටු වෙන්න ඕනේ. එය ඉටුකිරීම සඳහා ව්‍යවස්‌ථාපිත ආයතන තිබෙනවා. පොලිසිය, වංචා විමර්ශන ඒකක, අලුතෙන් හදපු එµa.සී.අයිඩී. වගේ ආයතන, අල්ලස්‌ සහ දුෂණ කොමිෂන් සභාව, බරපතල දුෂණ වංචා සම්බන්ධයෙන් පත්කර තිබෙන ජනාධිපති කොමිසන් සභාව, ආදී ආයතන මගින් අපි ඒ දේවල් ඉටු කිරීම පිළිබඳව බලාපොරොත්තු වෙනවා.

මේ ආණ්‌ඩුව ආවාට පස්‌සේ මුළු රටම කතා කරන මහ බැංකු බැඳුම්කර වංචාවක්‌ සම්බන්ධයෙන් කරනු ලබන චෝදනාව විමර්ශනය සඳහා මම ජනාධිපති කොමිසමක්‌ පත් කළා. මේ සියලු ආයතන තම තමන්ගේ වගකීම් ඉෂ්ට කරනු ඇතැයි මහජනතාව බලාපොරොත්තු වෙනවා. ඒවායේ යම් කිසි ප්‍රමාදයක්‌ වෙනවා නම්, ඒවාට යම් මඟපෑදීමක්‌ වෙනවා නම් ඒ කියන්නේ ජනතා බලාපොරොත්තුවට අපේක්‌ෂාවට යම් පිටුපෑමක්‌ එතැනදී සිදු වෙනවා. ඇතැම් දේවල් මට එළියේ කතා කරන්න බැහැ.ඇතුළේ කතා කරනවා. ඔය කියන කරුණු කාරණා සම්බන්ධයෙන් රජයේ අභ්‍යන්තර අංශවලට මම බොහොම තදින් කියල තියෙනවා. තදින් නියෝග දීලා තියෙනවා.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, මේ ආණ්‌ඩුව දුවන්නේ නැහැ කියන චෝදනාව තිබෙනවා.රටේ මොකුත් වෙන්නේ නැහැ කියලත් ජනතාව චෝදනා කරනවා. ඒ තුළ මෙවැනි පරීක්‌ෂණ පිළිබඳව දේශපාලන පළිගැනීම් වලට වඩා වැඩි අර්ථකථනයක්‌ රටෙන් ලැබෙන්නේ නැහැ…

පිළිතුර – පරීක්‌ෂණ නොකරන කොට, ඒවා ප්‍රමාද වෙන විට ආණ්‌ඩුව දුර්වලයි කියන අයම ඒ පරීක්‌ෂණ කෙරීගෙන යන කොට දේශපාලන පළිගැනීම් කියලා කෑ ගහනවා. අපි හොරු නම් අල්ලන්න කියන අය ඒ ගැන පරීක්‌ෂණ කරන කොට පළිගැනීම් කතා කිය කියා යනවා. ඕක තමයි ඇත්ත තත්ත්වය. සමහරු මම දුර්වලයි, කොන්ද පණ නැහැ, වගේ කතා කියනවානේ. මට වඩා මේ රටේ, ඔය විදිහට අපහාස වින්ද කෙනා තමයි බණ්‌ඩාරනායක මැතිතුමා. එතුමාට දුන්න වධ මට තාම දීලා නැහැ. මේ දවස්‌වල කොළඹ නගරය ගත්තහම සමහර සති වල දවස්‌ පහේම උද්ඝෝෂණ සහ පෙළපාලි තියෙනවා. බණ්‌ඩාරනායක මැතිතුමාගේ කාලයෙන් පස්‌සේ තමයි ඒවා සිද්ධ වෙලා තියෙන්නේ. සමහර උද්ඝෝෂණ සහ පෙළපාලි යම් සාධාරණ කරුණු කාරණා මත ඇතිවෙනවා විය හැකියි. සමහර දේවල් ආණ්‌ඩු විරෝධී දේශපාලන හස්‌තයන් මගින් හසුරුවනවා වෙන්න පුළුවන්. බණ්‌ඩාරනායක මැතිතුමා තමයි, මේ රටේ දුෂණ වංචා සම්බන්ධයෙන් පියවර අරගෙන ඇමතිවරු අස්‌කරපු නායකයා. ඊට ඉස්‌සෙල්ල එහෙම කරලා නැහැ. ඊට පස්‌සේ කරලත් නැහැ. එහෙම තියාගෙනනේ එතුමාට කොන්ද පණ නැති නායකයා කිව්වේ. මම මෙතැනට ආවා වගේම යන කොට මට ගෙනියන්න දෙයකුත් නැහැ. මම ආපු විදිහට යන්නත් ඕනේ… ආපු වැඩේ කරන්නත් ඕනේ…

මගේ ඇතැම් චරිත ලක්‌ෂණ සමහර අය නොයෙක්‌ ආකාරයට විග්‍රහ කළාට, රට තුළ නිදහස්‌ සහ ප්‍රජාතන්ත්‍රවාදී නයකයකු ලෙස මම හැසිරිය යුතු වෙනවා. මේ රටේ බොහෝ අයට 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අමතක වෙලා තිබෙනවා. 19යට කලින් ජනාධිපතිවරයා සිටිය ආකාරය තමයි බොහෝ දෙනාගේ සිතේ මැවිලා තිබෙන්නේ… වසර හතළිහක්‌ පමණ තිබ්බ ඒ ක්‍රමය මට කලින් ජනාධිපතිවරු පස්‌ දෙනෙක්‌ ක්‍රියාත්මක කළානේ… ඒ නිසා බොහෝ අය හිතන්නේ මේ පරණ ක්‍රමයමයි කියලා. මට කලින් හිටපූ ජනාධිපතිතුමා 18 වැනි සංශෝධනයෙන් මේ බලය තවත් ශක්‌තිමත් කර ගත්තා. මේ පුරුද්දට 19 වැනි සංශෝධනය අමතක කරලා තවමත් මම දිහා බලන ඒක නිවැරදි දෙයක්‌ නෙමෙයි. අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට එදා විනිශ්චයකාරවරුන් පත් කළේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදියි. දහ නවවැනි සංශෝධනයෙන් පස්‌සේ ඒ බලය තියෙන්නේ ව්‍යවස්‌ථාදායක සභාවට. එයාලට අවශ්‍ය නම් යවලා තියෙන නාම ලේඛන ප්‍රතික්‌ෂේප කරනවා. සමහරු හිතනවා, ජනාධිපතිට අවශ්‍ය විදිහට තමයි මේ කටයුතු කරන්නේ කියලා. රටේ සහ මහජනයාගේ යහපත උදෙසා, තව ඉදිරියට යනකොට මම හිතාගෙන ඉන්නවා, දැඩි තීරණ වලට එළඹෙන්න…

ප්‍රශ්නය – ඔබ සහ ආණ්‌ඩු පක්‌ෂයේ ඔබගේ පාර්ශවයේ සිටින මැති ඇමතිවරු ඉඟිකරන විදිහට, මේ දැඩි පියවර කියන්නේ නීතිය සහ සාමය පිළිබද අමාත්‍ය තනතුරේ වෙනසක්‌ වෙනවා කියන එකද…?

පිළිතුර – 19 වැනි සංශෝධනය යටතේ වුවත් අමාත්‍යාංශවල විෂයයන් වෙනත් තැනකට ගැසට්‌ කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. එහෙම කරන්න තවම, මගේ ඔලුවේ අදහසක්‌ නැහැ. නමුත් රටේ සහ මහජනයාගේ යහපත සඳහා, මහජනයාගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා කොයි මොහොතේ හෝ වෙනසක්‌ කළ යුතුම තත්ත්වයක්‌ පැමිණියහොත් එහෙම කරන්නත් සිද්ධ වෙනවා.

ප්‍රශ්නය- දූෂණ පිළිබඳව තිබෙන චෝදනා විභාග කිරීමේ ප්‍රමාදයක්‌ සහ ඒවා නිසිලෙස ක්‍රියාත්මක නොවන බව ඔබ පවසනවා. ජනාධිපතිතුමනි, ඔබ මේ සඳහා අපේක්‌ෂා කරන්නේ කුමන විදිහේ යාන්ත්‍රණයක්‌ ද…? ආදර්ශයක්‌ද…?

පිළිතුර – දැන් බලන්න දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක්‌ ගුන් හෙයිට විරුද්ධව දුෂණ චෝදනා එල්ල වුණා. මහජන විරෝධය ආවා. ආණ්‌ඩුව තුළ විරෝධය ආවා. පරීක්‌ෂණ පැවැත්වුවා. දෝෂාභියෝගයක්‌ ගෙනාවා. මාස හයෙන් හිරේ ගියා. අලුත් ජනාධිපති කෙනෙකුත් පත් වුණා. අපේ රටේ කවුරුත් දන්නවා, කාටද චෝදනා තියෙන්න… මොන අංශවලටද චෝදනා තියෙන්නේ කියලා, එවැනි දේවල් ප්‍රමාද වීම කිසිසේත්ම සුදුසු නැහැ. සමහර තැන් වලදී තාක්‌ෂණික කරුණු නිසා ඒවා ප්‍රමාද වෙනවා. ඊට වඩා වෙනස්‌ තත්ත්වයන් සමහර තැන්වලදී අපි දකිනවා. සමහර දේවල් ඇතැම් අංශවලදී හිතා මතා ප්‍රමාද වෙන බව පෙනී යනවා. එහෙම නැත්නම් මේවා අල්ලන්න දීපු අයත් හොරු වෙලා ද කියන සැකය මතු වෙනවා. සැකයේ වාසිය මත නඩු තීන්දු වෙන වෙලාවල් තියෙනවානේ. ඒක නිසා මේ සැකය කියන ඒක විවිධාකාරයෙන් ඇතිවෙනවා. සෑම කෙනෙක්‌ම තමන්ගේ වගකීම ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි.

ප්‍රශ්නය – ඔබ බලයට පැමිණියේ විධායක ජනාධිපති තනතුර අහෝසි කරන පොරොන්දුව ප්‍රධාන කර ගනිමින්… නමුත් මේ වන විට ශ්‍රීලනිපයේ මතය වී තිබෙන්නේ, විධායක ජනාධිපති තනතුර අහෝසි නොකළ යුතු බවයි… එයින් ඉඟි කරන්නේ ඔබ නැවත වරක්‌ ජනාධිපති තනතුර සඳහා තරඟ කරන බව ද…?

පිළිතුර – මට දැන් තියෙන්නේ ඊළඟ වාරය ගැන හිතන්න නෙමෙයි. ආපු වැඩේ මේ කාලය තුළ නිම කිරීම. මට රටේ ජනතාව බලය දීලා තිබෙනවා. අනික්‌ කාල සීමාව ගැන හෝ මගේ නිල කාලයෙන් පස්‌සේ මොකද කරන්නේ කියන ඒක, ගැන මම හිතන්නේ නැහැ. අද පැවරිච්ච වගකීම මම ඉෂ්ඨ කළාම තමයි, මට තව දෙයක්‌ ගැන හිතන්න පුළුවන් වෙන්නේ. මේ වෙන කොට අවුරුදු දෙකහාමාරක්‌ ගත වෙලා තිබෙනවා. තව අපිට වසර තුනක්‌ පමණ කාලය ඉතිරි වී තිබෙනවා.

2014 නොවැම්බර් මාසයේ 21 වෙනිදා, මම ආණ්‌ඩුවෙන් එළියට බහින කොට, කිසිම ගිවිසුමක්‌ තිබ්බේ නැහැ. ඊට කලින් කිසිම දවසක මම රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බුවෙලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය, රාජිත සේනාරත්න ඇමතිතුමා, චම්පික රණවක ඇමතිතුමා, රතන හාමුදුරුවෝ ඔය වගේ කණ්‌ඩායම් මම නිතර නිතර හම්බු වුණා. මම පොදු අපේක්‌ෂකයා කියන එක නොවැම්බර් 20 වෙනිදාවත් මට තහවුරු වෙලා තිබුණේ නැහැ. ඒක වචනයෙන් විතරක්‌ තහවුරු කිරීමෙන් පස්‌සේ තමයි මම එළියට ආවේ. ඒත් චන්ද්‍රිකා මැතිනියගේ ගෙදරට ආවාට පස්‌සේ, මට පොදු අපේක්‌ෂකකම දුන්නේ නැත්නම් මට කරන්න කිසිම දෙයක්‌ නැහැ. මොකද මම කිසිම ගිවිසුමක්‌ අත්සන් කරලා තිබුනේ නැහැ.

ප්‍රශ්නය – ඔබ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතර තිබෙන විරසකය, ආසියාවේ ප්‍රබලම දේශපාලන වෛරය ලෙස ඉන්දීය මාධ්‍ය විසින් වරක්‌ හඳුන්වා දී තිබුණා. එය තව තවත් ඇවිලෙනවා මිසක නිවී යන පාටක්‌ තවම දකින්නට නැහැනේ…

පිළිතුර – අද රටේ දේශපාලනයේ හැටියට මහින්ද රාජපක්‌ෂ මහත්තයයි මමයි අතර ප්‍රශ්නයක්‌ තිබුණා හෝ රටේ ජනතාව දරන මතය අනුව ගත්තහම ඒක අද තියෙන ප්‍රශ්නයක්‌. පසුගිය අවුරුදු විස්‌සකට එහා ගත්තොත් මහින්ද රාජපක්‌ෂ මහත්තයයි මමයි ඉතාම හිත මිත්‍රයෝ… ඉතාම විශ්වාසවන්තයෝ. 2000 අවුරුද්දේ ශ්‍රීලනිපයේ මහ ලේකම් තනතුර තෝරන්න පවත්වපු ඡන්දෙදි චන්ද්‍රිකා මැතිනිය, එස්‌.බී. දිසානායක මහත්තයාට මධ්‍යම කාරක සභාවේදී එළිපිට ඡන්දේ දෙනකොට මගේ පැත්තේ මම වෙනුවෙන් හිටපු ප්‍රධානියෙක්‌ තමයි මහින්ද රාජපක්‌ෂ මහත්තයා. දි.මු. ජයරත්න, කේ.බී. රත්නායක, ජෝන් සෙනෙවිරත්න, ජී.එල්.පීරිස්‌ වගේ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ මාත් එක්‌ක හිටියේ. 2005 පාර්ලිමේන්තු මැතිවරණය අපි දිනලා, අගමැතිවරයෙක්‌ පත් කරන්න සුදානම් වෙනකොට මට චන්ද්‍රිකා මැතිනිය කතා කළා. “ඔයා පොළොන්නරුවට වෙලා ඉන්නේ නැතුව ඉක්‌මනට එන්න …” කියලා මට කිව්වා. “ඉක්‌මනට එන්නේ කොහොමද පැය පහක්‌ විතර යනවනේ…” කියලා මම කිව්වා. “එහෙනං මම හෙලිකොප්ටර් එකක්‌ එවන්නම් …” කියලා එතුමිය මට හෙළිකොප්ටර් එකක්‌ එව්වා. මම ඒකේ ආවා. ඒ එනකොට ලක්‌ෂ්මන් කදිරගාමර් මැතිතුමා හිටියා. පී. දිසානායක හිටියා. බාලපටබැඳි මහත්තයා හිටියා. මේ අය ජනාධිපතිතුමියත් එක්‌ක ජනාධිපති මන්දිරයේ හිටියා.

“දැන් කවුද අගමැති…” කියලා එතුමිය මගෙන් ඇහැව්වා. “එහෙම අහන්නේ ඇයි…? කියලා මම ඇහැව්වා. “නැහැ…මේ ජවිපෙන් ලියුමක්‌ එවලා තියෙනවා. ඒ අය අද පාන්දර දේශපාලන මණ්‌ඩලය රැස්‌ කරලා තීරණයක්‌ අරගෙන තියෙනවා. ඒ අය ලක්‌ෂ්මන් කදිරගාමර් මැතිතුමාව යෝජනා කරනවා. ඔහුව බැරි නම් අනුර බණ්‌ඩාරනායක මහත්තයාව යෝජනා කරනවා. එහෙමත් බැරිනම්, මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැති කරන්න කියලා, ඒගොල්ලෝ දන්වලා තියෙනවා…” කියලා ටිල්වින් සිල්වා මහත්තයා එවපු ලියුම මට පෙන්නුවා.

“ජවිපෙ එක මෙහෙම කිව්වාට ඒ විදිහට යන්නේ නැහැ.ශ්‍රීලනිපයට ඕනෑ විදිහටයි අගමැති පත් කරන්න ඕනේ. මේ ඡන්දෙදි රටේ ජනතාව බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා අගමැති කරන්න. ඔබ තුමිය ජනාධිපතිනිය වගේම, මේ ඡන්දෙන් අගමැති මහින්ද රාජපක්‌ෂ මහත්තයා කියලා තමයි රටේ ජන මතය. ඒ නිසා වෙන වෙන එක එක්‌කෙනා කියන ඒවා, කරලා හරියන්නේ නැහැ…” කියලා මම කිව්වා.

පස්‌සේ අපි කදිර්ගාමර් මහත්තයාව සන්සුන් කරගෙන, චන්ද්‍රිකා මැතිනියට ඒකත් කිව්වා. ඊට පස්‌සේ එතුමිය මගෙන් අහනවා “දැන් මොකද කරන්නේ කියලා…”

“මහින්දව අගමැති කරන්න කියලා…” මම කිව්වා.

“මේකේ ඔයාගේ නමත් තියෙනවනේ…” කියලා එතුමිය මට කිව්වාම,

“මේ වෙලාවේ අගමැතිකමට එන්න ඕනේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා…මම අගමැතිකම භාර ගන්නේ නැහැ. රටේ මහජනයා මේ මැතිවරණයේදී බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්‌ෂ මහත්තයාව” කියලා මම යන්න ගියා.

2005 ජනාධිපතිවරණයේදීත් එහෙමයි. මහින්ද රාජපක්‌ෂ මහත්තයාට අපේක්‌ෂකකම ගන්න වින්ද දුක මමනේ දන්නේ…

ප්‍රශ්නය – යහපාලන ආණ්‌ඩුවේ එජාපය සහ ශ්‍රීලනිපය අතර දෙවසරක සම්මුතිය අවසන් වෙන්න දැන් කිට්‌ටුයි. ඊළඟට මොකද වෙන්නේ…

පිළිතුර – ඒ ගැන තවම අපි පක්‌ෂයක්‌ විදිහට කතා කරලා නැහැ. අපි දෙගොල්ලෝ කතා කරලත් නැහැ. පක්‌ෂ ලෙස කුලල් කා ගන්නවා වෙනුවට ජවිපෙ, ශ්‍රීලනිප, එජාප, දෙමළ සන්ධානය, මුස්‌ලිම් කොංග්‍රසය ආදිය එකතුවෙලා රට වෙනුවෙන් ගමනක්‌ යන එකයි වැදගත්. රටට ආදරේ තියෙනවා නම් එකට එකතු වෙලා සැම දෙනාටම එකට යන්න පුළුවන් නම් තමයි හොඳ. ජනතාව විසින් පත් කරපු රටේ නායකයා වේවා, ප්‍රධාන සේවකයා වේවා, මම සියලු දෙනාට දෑත දික්‌ කරන්නේ, අපි රට වෙනුවෙන් එකතු වෙමු කියන එකයි. ආණ්‌ඩුව වෙනස්‌ කරන්න ඕනේ ඡන්දයකින්නේ. දැන් අපි ඉන්නේ ආණ්‌ඩුවේ මැදනේ…

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, ඔබ සමග ඉන්න ශ්‍රීලනිපයේ දහ අට දෙනෙක්‌ ආණ්‌ඩුවෙන් කැඩිලා යනවා කියලා, දැන් එළිපිටම කියන්න අරගෙන තියෙනවා…

පිළිතුර – මෙහෙමයි, ඔය කැඩිලා යන ඒවා ආණ්‌ඩුවෙන් කැඩිලා යයි ද වෙන පැත්තකින් කැඩිලා යයිද දන්නේත් නැහැ. මම එදා ආණ්‌ඩුවෙන් එළියට එනකොට මාත් එක්‌ක ආවේ කීදෙනාද කියලා රටම දන්නවා. ඔය කිසිම කෙනෙක්‌ බබාලා නෙමෙයිනේ…

කවුරු හරි යන්න හදනවා නම් ඒක බලෙන් නවත්තගන්න පුළුවන් දේකුත් නෙමෙයි. එහෙම බලෙන් නවත්වන්නත් හොඳ නැහැ. නවත්වන්නත් බැහැ. නමුත් මගේ නම් හැඟීම ඒ සියලු දෙනා, රට වෙනුවෙන් අවංක දේශපාලන හැඟීමක්‌ ඇතිවයි තීරණයක්‌ ගත යුත්තේ කියලා. කවුරු මෙතැනින් ගියත්, මෙතැනට ආවත් මහජනතාව ගැන නොසිතා, අවස්‌ථාවාදී ලෙස, වාසිදායක ලෙස තමන්ට බලයට එන්න හොඳ මෙතැන තමයි කියලා හිතාගෙන පිල් මාරු කරනවා නම් ඒ අයටම තමයි මේකේ අවාසිය. හොඳ දේ තෝරා ගැනීමේ අවදානමක්‌ තිබෙනවා. ඒ අවදානමට මුහුණ දෙන්න ඕනේ…

– දිවයින

වැඩිපුරම කියැවූ පුවත්