Menu

රංගිරි දඹුලු ප්‍රශ්නය ඉවරයි

July 15, 2017

රංගිරි දඹුලු ලෙන් විහාරය වසා නොදමා විහාරාධිකාරී භාරකාරත්වයේ අධීක්‌ෂණය යටතේ දඹුලු චිත්‍ර හා මූර්ති සංරක්‌ෂණය සිදුකිරීමට රජය සහ විහාරාධිකාරී ගොඩගම මංගල හිමියන් අතර එකඟතාවක්‌ ඇතිව තිබේ.

මහා විහාරයන්හි උපදෙස්‌ ඇතිව සංරක්‌ෂණ කටයුතු සඳහ තීරණ ගන්නා ලෙස පුරාවිද්‍යා උපදේශක සභාවට සහ සංස්‌කෘතික උපදේශක සභාවට උපදෙස්‌ ලබාදීමට අස්‌ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥණරතන ස්‌වාමීන්වහන්සේ කටයුතු කළ බව අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.

අවස්‌ථානුකූලව වන්දනාකරුවන්ට සහ නරඹන්නන්ට බාධා ඇති නොවන පරිදි දඹුලු ලෙන් විහාර සංරක්‌ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවසර ලැබුණු බවද රජය සමඟ සහ සංස්‌කෘතික කටයුතු භාර ඇමැති අකිල විරාඡ් මහතා සමඟ එකඟතාවය ඇති කර ගනිමින් සුහදව කටයුතු කිරීමට දෙපාර්ශ්වය තීරණය කළ බවද උන්වහන්සේ පැවසූහ.

යම් හෙයකින් ප්‍රවේශ පත්‍ර මුදලකට විකිණීමට තීරණය කරන්නේ නම් එම කටයුතු බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයාගේ පූර්ණ අධීක්‌ෂණය යටතේ සිදුකිරීමටද එහිදී තීරණය කළ බව මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්‌ඩාවල මහතා ඇතුළු පිරිස ඊයේ (14 දා) පෙරවරුවේ අස්‌ගිරි මහානායක හිමියන් බැහැ දැක දඹුලු විහාර සංරක්‌ෂණයට අදාළ කරුණු සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේදී එම තීරණ ගත් බවද ධම්මානන්ද හිමියෝ පැවසූහ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක