Menu

උතුරු කොරියාවෙන් ප්‍රභල මිසයිලයක්. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසියේ කැඳවයි.

July 5, 2017

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය එක්වී බැලිස්ටික් මිසයිල අභ්‍යාසයක නිරත වෙයි.

උතුරු කොරියාව අත්හදා බැලූ නවතම දුර විහිදුම් මිසයිලය ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තය දක්වා ළඟා විය හැකි බවට විශ්වාස කෙරේ.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසියේ කැඳවීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

උතුරු කොරියාව ඊයේ (ජූලි 04) නිවේදනය කර සිටියේ තමන් අත්හදා බැලූ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලය සාර්ථක වූ බවය.

කෙසේ නමුත්, දුර විහිදුම් න්‍යෂ්ටික අවි තවමත් උතුරු කොරියාව සතුව නොමැති බව ඇතැම් විශේෂඥයෝ පවසති.

දකුණු කොරියානු සහ ඇමරිකානු හමුදා බලධාරීන් එක්ව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තම හමුදා ඉවසීමෙන් සහ හික්මීමෙන් කටයුතු කරන නමුත් එය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බවය.

මිසයිල පරාසය

උතුරු කොරියාව සිදුකළ නවතම මිසයිල අත්හදා බැලීම, ඇමරිකාවේ නිදහස් දිනය වෙනුවෙන් ලබා දුන් “ත්‍යාගයක්” ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් හඳුන්වා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.

මෙවැනි “ත්‍යාග” නිතර නිතර ඇමරිකානුවන්ට යවන ලෙස උතුරු කොරියාවේ නායකයා පවසා ඇති බැවින් ඉදිරියේදී තවත් මිසයිල අත්හදා බැලීම් සිදුවනු ඇති බව උතුරු කොරියාවේ KCNA පුවත් සේවය වාර්තා කර තිබේ.

ඊයේ අත්හදා බැලූ මිසයිලය කිලෝමීටර 2802ක් ඉහළට ගොස් කිලෝමීටර 933ක් ඈතින් මුහුදේ පිහිටි ඉලක්කයක් කරා පතිත වූ බව උතුරු කොරියාව නිවේදනය කළේය.

ලෝකයේ ඕනෑම ස්ථානයකට පහර දිය හැකි බලසම්පන්න ම අන්තර් මහද්වීපික මිසයිල මේවනවිට තමන් සතු බව එම නිවේදනයේ සඳහන් වෙයි.

-bbc sinhala

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක