Menu

පුංචි පෙති­ටික දුවගේ ජීවි­තය උදුරා ගනී

June 20, 2017

පුංචි ජීවිතයක් අකාලයේ විනාශ වන්නට ගත වන්නේ සුළු මොහොතකි. ඇසි පිල්ලම් ගසන සැණෙකි. ලොක්කන්ගේ ජීවිතයේ වීරයකු වන්නටත්, ලොකු අය කරන්නාවූ වැඩ කරන්නටත් මේ පුංචි හිත් කැමැතිය. මේ පුංචි සිත්වලට අනතුරක හැඟීමක් දැනෙන්නේ නැත.

ඒ නිසා දෙමවුපියනට හොර රහසේ වීරකම් කරන්නට ගොස් , දෙමවුපියන් අනුකරණය කරන්නට ගොස් අකාලයේ මියැදෙන දරුවන් නිමක් නැත. පුංචි දරුවන් ඇසක් සේ බලා ගත යුතු යැයි පවසනුයේ කට කහනවාට නොවේ.

අවසානයේ සුළු අත්වැරුද්දකින් සදහටම වේදනාවට පත් වන්නට දෙමවුපියන්ට සිදුවීම කොතරම් ඛේදජනකද? පසුගියදා ගණේමුල්ල, පහළ යාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ මෙය තවත් එවන් වූ ඛේදජනක සිදුවීමකි. පුංචි මනුමි සියාත්‍රා මේ මවටත් පියාටත් සිටි එකම දියණියයි.

වයස අවුරුදු හතරක් වුවත් ඇයගේ දඟකාරකම ගේ පුරා දිවගියේ මේ මවගේත් පියාගේත් ලෝකය ආලෝකවත් කරමිණි. සුරතල් වදනින් සිය මවගේත් පියාගේත් දෙකන් පිරවූ ඇයගෙන් එහා ලෝකයක් පතන්නට හෝ සිතන්නට මේ මවටත් පියාටත් නොහැකි විය. මේ නිසා සිය දියණියගේ ආරක්ෂාව වැඩි වැඩියෙන් සිතූ ඔවුහු සිය දියණියට හානියක් වෙතැයි සිතෙන සියලුම දෑ ගැන සිටියේ දැඩි අවධානයකිනි.

පොසොන් පෝදා උදා වූයේ මනුමිගේ සිතේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳ ගෙනය. පියා විසින් තැනූ පහන් කූඩු නැවතත් එල්ලා ඒවායේ හැඩ බැලීමට පුංචි මනුමි උදේ සිටම පියාට ඇවිටිලි කළාය. එහෙත් ඒ පුංචි හිතේ ආසාව ඉෂ්ඨ කිරීමට ඉඩ නොදී ටිකෙන් ටික කාටත් හොරා මාරයාගේ හෝරාව ඈ කරා සමීප වූයේ නිවෙසේ සියල්ලන්ටම හොර රහසේ ය.

“පොසොන් පෝය දවසේ අපේ දුව හරිම ආසාවෙන් හිටියේ. එයා ගේ හැම තැනම ආසාවෙන් දුව දුව හිටියේ. ගෙදර වැඩ කරන අතරේ මගේ නෝනා ගියා බාත්රූම් එකට දුවගේ ඇදුම් හෝදන්න කියලා. එයා නාන කාමරයට ගිහින් ටික වේලාවයි ගියේ. දුව අම්මා හොයාගෙන දුවගෙන ආවා.

ඇවිත් අම්මට කියලා තියෙනවා, මම අම්මගේ අල්මාරිය උඩ තියෙන බේත් බිව්වා. දැන් ‘ඕක්‘ යන්න එනවා කියලා. මේ බේත් ගෙනාවේ මගේ නෝනට අතේ කැක්කුමක් හැදිලා. එයා දරුවා නිසා හරිම පරිස්සමෙන් මේ බේත් එයාට ගන්න බැරි උසකින් තියන්නේ. දුව මේවා කොහොම හරි දැකලා තියෙනවා. ඒත් එයා අම්මගේ බේත් කියලා දන්නේ නැහැ.

සමහර විට ටොෆි කියලා හිතන්න ඇති. ඒ කාඩ් එකේ බේත් පෙති 10 ක්ම තිබිලා තියෙනවා. ඒ 10 ම දුව බීලා. සමහර විට පැණි රසට වෙන්න ඇති. දරුවා අයි.සී.යූ එකේ හිටියේ ගොඩාක් අමාරුවෙන්. වෛද්‍යවරු කිව්වේ මේ බේත් හරිම ක්‍රියාශීලියි කියලා. දරුවාගේ අක්මාවට වගේම බඩවැල් වලටත් හානි වෙලා. අන්තිමට අපේ පුංචි දූ අපෙන් ඈත් වෙලා ගියා.” මනුමිගේ පියා පැවසීය.

තමාගේ අසනීපයකට වෛද්‍යවරයා නියම කළ යකඩ පෙති සිය දියණියට මරුවා කැන්දාවි යැයි මේ මව කිසිසේත් සිතුවේ නැත. එහෙත් අද සියල්ල සිදුවී ඇත. සිදුවූ සියල්ල ආපසු හැරවිය නොහැක්කා සේ අද මේ මවටත් පියාටත් ඥාතීන්ටත් උරුම වී ඇත්තේ සදාකාලික වේදනාවක් පමණි.

අද බොහෝමයක් දරුවන් කෙරේ දෙමවුපියන් තුළ ඇත්තේ අඩු සැලකිල්ලකි. අතවැසියෙකු හෝ වැඩිහිටි දෙමවුපියන්ට සිය කුඩා දරුවන් බාර දී අත පිසදා ගන්නා දෙමවුපියන්ද ඕනැතරම් ය. මවුපියන්ගේ දෑස් මානයේ සිටි මේ දැරියටත්ත් මෙවන් දේ සිදු වූවානම් අනුනට දරුවන් බාරදී කරබා ගන්නා විට සිදුවන දේ ගැන කවර කතාද? යමක් සිදු වූ පසු එය ආපසු හැරවිය නොහැකි බව අප කල්පනා කළ යුතුය. අඩුම තරමින් දැරුවන් උස් මහත් වි සමාජය තේරුම් ගන්නා තෙක් ඒ දරුවන්ට යොමු කළ ඇස අපි ඉවත් නොකළ යුතුය. මෙවන් සිදුවීම් මේ හැමටම හොඳ උදාහරණය.

-සුභාෂිණී ජයරත්න

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක