Menu

‘මහින්ද උපක‍්‍රමශීලි ලෙස ජනතාව තම පැත්තට හරවාගත්තා’ – අනුර

February 13, 2018

ජනාවාරි 08 වෙනිදා ලබා ගත් ජයග්‍රහණය ජනතාව තුළ මේ අවුරුදු 3 දි ගොඩ නැගුණු ආණ්ඩු විරෝධි බව නිසා අහිමි ව ගිය බවත්, එම ජනතාව උපක්‍රමශීලි ලෙස තම පැත්තට හරවා ගැනීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමත් වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පවසා සිටිනවා.

11 වැනිදා බත්තරමුල්ල පැලවත්ත එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මේ වනවිට පළාත් පාලන මැතිවරණය අවසන් වී තිබෙනවා. අපි අපේක්ෂා කළා මේ වනවට ප‍්‍රතිඵල සම්පූර්ණයෙන් නිකුත් වී තිබේවි කියලා. නමුත් තවමත් ප‍්‍රතිඵල නිකුත් වෙමින් තිබෙනවා. මේ ප‍්‍රතිඵල පිළිබඳවත් පළාත් පාලන මැතිවරණය පිළිබඳවත් ජවිපෙ අදහස් ඉදිරිපත් කිරීමට මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවා. මේ පළාත් පාලන මැතිවරණය පැමිණෙන විට රට තුළ විශාල ආණ්ඩු විරෝධයක් ගොඩනැඟී තිබුණා. ආණ්ඩුවේ පරිපාලනයට එරෙහිව, සහනාධාර කප්පාදුවට එරෙහිව ආණ්ඩු විරෝධයක් තිබුණා. ඒ වගේම වංචා-දුෂණවලට එරෙහිව හඬක් නැඟෙමින් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණට මේ ගොඩනැගෙමින් තිබුණු ආණ්ඩු විරෝධයට සාපේක්ෂව ප‍්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කළා. මෙම මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන ආකාරය අනුව පෙන්නුම් කෙරෙන්නේ, පක්ෂයක් ලෙස අපි අපේක්ෂා කරන ලද බලය මෙම ප‍්‍රතිඵලය තුළ නොමැති බවයි.”

“කෙසේ වුවත් පළාත් පාලන මැතිවරණ සමග සංසන්දනය කර බලන විට, 2011 අවසන් වරට පැවැත්වූ මැතිවරණයට සාපේක්ෂව අපට එහිදී ලැබුණු මන්ත්‍රී ධුර 72ක ප‍්‍රමාණයට වඩා මෙවර විශාල ලෙස මන්ත්‍රී ධුර වැඩිවෙමින් තිබෙනවා. නිදසුනක් ලෙස කොළඹ නගර සභාව තුළත් කඩුවෙල නගර සභාව තුළත් අපට තිබුණේ එක් නියෝජනයක් පමණයි. මේ වනවිට නිකුත් වී ඇති ප‍්‍රතිඵල අනුව කොළඹ මන්ත්‍රී ධුර 06ක් දක්වාත් කඩුවෙල 05ක් දක්වාත් වැඩිවී තිබෙනවා. 2011 මැතිවරණයට අනුව බැලුවොත්, මන්ත්‍රී සංඛ්‍යාවේත්, ඡන්ද ප‍්‍රමාණයේත් සැලකිය යුතු වර්ධනයක් තිබෙනවා. 2015 මැතිවරණයට සාපේක්ෂව බලුවොත් ජවිපෙ ඡන්ද ප‍්‍රතිශතයේත්, ඡන්ද ප‍්‍රමාණයේත් වර්ධනයක් ඇතිකර ගැනීමට අප සමත්වී තිබෙනවා.”

“මෙම ප‍්‍රතිඵලය ලබා ගැනීමේදී අපේ රටේ බොහෝ පිරිස් ඊට දායකත්වය දැක්වුවා. විශේෂයෙන් කලාකරුවන්, විද්වතුන්, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂී ජයග‍්‍රහණයක් ලබාදීමට විශාල කාර්යභාරයක් කළා. අප පක්ෂයක් ලෙස ඔවුන්ටත්, අපට ඡන්දය ලබාදුන් ජනතාවටත් ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.”

“2015 ජනවාරි 08වැනිදායින් පසුව රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුවේ ගුණාගුණ මැන බැලෙන අවස්ථාව බවට මෙම මැතිවරණයට පත්වී තිබුණා. ආණ්ඩුව ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙන බව මෙම මැතිවරණයේ ප‍්‍රතිඵලය තුළ ඉතා හොඳින් පෙන්නුම් කර තිබෙනවා. 2015 ජනවාරි 08 දා ජනතාව විසින් අපේක්ෂා කළ කාර්යයන්ට මුළුමනින්ම පිටුපස හරවා ආණ්ඩුව පසුගිය වසර 03ක කාලය පැමිණ ඇති බව මෙම මැතිවරණය ප‍්‍රතිඵලය විසින් පෙන්වා දී තිබෙනවා. ආණ්ඩුව අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති, ක්‍රියාමාර්ග ප‍්‍රතික්ෂේප කිරීමත් ජනවාරි 08 ජනතාවගේ අපේක්ෂා සියල්ල ඉටුකිරීමට අසමත් වූ ආණ්ඩුව සම්බන්ධ ජනතාවගේ ප‍්‍රතිචාරයත් මෙම ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කර තිබෙනවා. එහිම අනෙක් ප‍්‍රතිඵලය තමයි, ජනවාරි 08 දා පරාජයට පත්කරන ලද දුෂ්ට බලවේග නැවත හිස එසවීම. එය මහජනයාගේ ධනය තමන්ට රිසිසේ කොල්ලකන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරුන් නෙරපා දැමූ, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසූ, මාධ්‍යවේදීන් ඝාතනය කළ, බලය වෙනුවෙන් ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට නොපැකිලුණු බලවේගයක්. මේ රටේ ගොඩනැගෙමින් තිබුණු දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම විනාශ කරන ලද කණ්ඩායමක්. තමන්ගේ බල ව්‍යාපෘතිය වෙනුවෙන් සියල්ල පාවිච්චි කරන ලද බලවේගයක්. ඔවුන්ට නැවත හිස එසවීමට හැකි වාතාවරණයක් මෙම පළාත් පාලන මැතිවරණයෙන් ලැබී තිබෙනවා. ගොඩනැගෙමින් තිබූ ආණ්ඩු විරෝධය තමන් වටා ඒකරාශීකර ගැනීමට රාජපක්ෂ කඳවුර සමත් වී තිබෙන බව මෙම මැතිවරණයෙන් පෙනී යනවා.”

“ජනතාව පැත්තෙන් කල්පනා කරල බැලුවොත් මෙතැන් සිට දිගහැරෙන කාලය අතිශය තීරණාත්මකයි. මෙම පළාත් පාලන ආයතන ජනතාවගේ ජීවිත සමග සමීප ආයතනයි. ඒවායේ ක්‍රියාකාරකම් ජනතාවට මහත්සේ බලපානවා. ඒවායින් සේවාවන් සිදු නොවීම පිළිබඳ වගකීමක් මහජනතාවටත් තිබෙනවා. ජනතාව විසින් අනුමත කරන්නේත් වර්ධනය කිරීමට සූදානම් වන්නේත් මෙවැනි දේශපාලන සංස්කෘතියක් නම්, මෙවැනි ආර්ථික රටාවක් නම්, මෙවැනි අපරාධ නම් එහි වගකීමක් ජනතාවටත් තිබෙනවා. එසේම කවුරුන් මැතිවරණය ජයග‍්‍රහණය කළත්, හෙටත් ගොවි ජනතාව, කම්කරු ජනතාව, තරුණ-තරුණියන්, පොදු ජනතාව තමන්ගේ ප‍්‍රශ්නවලට මුහුණදෙන කොට, හොයාගෙන එන දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ බව අප හොඳින් දන්නවා. එමනිසා මෙම ජනතා විරෝධී දේශපාලන සංස්කෘතියට එරෙහිව, වර්ධනය වෙන දේශපාලන තත්වයන්ට එරෙහිව ප‍්‍රබල ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් තොරව පාලනය වෙනස් කළ හැකියැයි අපි සිතන්නේ නැහැ. ඒ සඳහා වූ ක්‍රියාමාර්ග ගැනීමට අප කැපවී සිටිනවා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක