Menu

බංගලාදේශ දගයන් වැඩ දමද්දී පළමු පෙළ සිටි දැවැන්තයාගෙන් තවත් සුපිරි ඉනිමක්..(UPDATE)

February 8, 2018

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය ප‍්‍රථම ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 222ක් රැස් කිරිමට සමත් විය.

හුදකලා සටනක් දියත් කරමින්  සුපිරි ඉනිමක් ක‍්‍රිඩා කළ රොෂේන් සිල්වා අවසන් කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට සිය ටෙස්ට් දිවියේ දෙවැනි අර්ධ ශතකය රැස් කරගනිමින් ලකුණු 56ක් ලබා සිටියේය.පන්දු 124කට මුහුණ දෙමින් ස්ථාවර ඉනිමක් ක‍්‍රිඩා කළ රොෂේන් ගේ ඉනිම එක් හයේ පහරකින් හා හතරේ පහර 03කින් හැඩ විය.

පළමු පෙළ වසර ගණනාවක්ම පිතිකරුවන් අතර පෙරමුණේ සිටි රෝෂේන් ජාතික කණ්ඩායම පැමිණි පසු ඉනිම් 04කදී එක් ශතකයක් හා අර්ධ ශතක 02ක් රැස් කරගැනීමට සමත් වී ඇත

ශ‍්‍රී ලංකා ඉනිමට ප‍්‍රවේගකාරී ආරම්භයක් ලබාදෙමින් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 05වැනි අර්ධ ශතකය ලෙස ලකුණු 68ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහර 10ක් අන්තර්ගත විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 110කට කඩුලු 06ක් දැවී අසරණව සිටියදී පිටියට එක්වූ දිල්රුවන් පෙරේා(31) සමග එක් වූ රොෂේන් හත්වැනි කඩුල්ල සදහා ලකුණු 52ක් සහ අකිල ධනංජය(20) සමග එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සම්බන්ධතාවක්ද පවත්වමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම වැඩි ලකුණු ප‍්‍රමාණයක් කරා රැගෙන ගියහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම තීරණයට අභියෝග කළ බංග්ලාදේශ පන්දු යවන්නෝ දිවා ආහාරයට පෙර චන්දිමාල්ද ඇතුලුව පිතිකරුවන් සිවු දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූහ.

රසාක්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට තැත්කළ අවස්ථාවේදී දිමුත් කරුණාරත්න ලකුණු 3 කට දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි.

ඉන් නොනැවතුන රසාක්, පිට පිට පන්දු 2 කදී ධනුෂ්ක ගුණතිලක සහ දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයට ඇද දැමුවේය. මුහුණදුන් පළමු පන්දුවම කඩුල්ලේ දැවටීම නිසා චන්මාල්ට ලකුණු නොළබාම පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූ අතර මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ධනුෂ්ක ලබා සිටියේ ලකුණු 13 ක් පමණි.

පළමු ටෙස්ට් තරගයේදී අගනා ශතකයක් (173) ලබාගත් ධනංජය ද සිල්වාට මෙම තරගයේදී වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටිමට තයිජුල් ඉස්ලාම් ඉඩක් ලබා නොදුන් අතර හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 19 ක් ලබා සිටියදී සබීර් රෙහෙමාන් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.

දිවා ආහරයෙන් අනතුරුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාවට ලකුණු 13ක් එක්වෙද්දී විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කරමින් සිටි කුසල් මෙන්ඩිස් දවා ගැනීමට අබ්දුල් රසාක් සමත් විය.

පළමු තරගයේ අර්ධ ශතකයක් රැුස් කළ නිරෝෂන් දික්වැල්ල හට අද දිනයේ ලබා ගත හැකි වුයේ එක් ලකුණක් පමණි.

වසර 4 කට ආසන්න කාලයකට පසු බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළත්ව සිටින වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක්, බිඳවැටුණ කඩුලු 10 න් 4 කටම හිමිකම් කීමට සමත් විය.

තයිජුුල් ඉස්ලාම් කඩුලු 04ක් හා මුස්තාෆිසර් රෙහෙමාන් කඩුලු 02ක් දවා ගැනීමට සමත්විය

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2 ක් සමගින් මෙම තරගයට සහභාගි වන අතර එහිදී ලක්ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර වෙනුවෙට ධනුෂ්ක ගුණතිලක සහ අකිල ධනංජය කණ්ඩායමට එක්ව සිටිති.

මෙය අකිල ධනංජයගේ මංගල ටෙස්ට් තරගය වන අතර මේ දක්වා එක්දින තරග 19 කට සහ විස්සයි20 තරග 9 කට සහභාගි වී ඇති ඔහු, එහිදී පිළිවෙලින් කඩුලු 21 ක් සහ 7 ක් බැගින් දවාගෙන තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක