Menu

ශ‍්‍රී ලංකා පිළ ලෝක කුසලානයෙන් විසිවෙති..ඉන්දියාව – පාකිස්තානය අවසන් මහා තරගයට

January 18, 2018

5 වන වරටත් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ(17) ක්‍රියාත්මක වූ අතර ඒ අතුරෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ පරාජය කළ පාකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඒ අතුරෙන් පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරගය ඩුබායි හිදී පැවැත්විය. එහි දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානු කණ්ඩායමට ආරාධනා කළේය.

බදාර් මුණීර් හා මුහමඩ් රාශිඩ් පාකිස්තානු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 160ක අගනා සබඳතාවයක් ගොඩනංවන ලදි. එහි දී පාකිස්තානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය මුණීර් 4 පහර 7ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 72ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට හසු විය. අනතුරුව පිටියට පිවිසි වමතින් පිත්ත හසුරුවන B2 කාණ්ඩයේ ක්‍රීඩක මොහොමඩ් රයිසාත් හා එක්වූ රාශිඩ් තවත් වේගවත් ලකුණු 85ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූයේ පන්දුවාර 24ක් තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 245ක් උදුරා ගනිමිනි. රයිසාත් ලකුණු 40යි.

පාකිස්තානු ඉනිම අවසන් වීමට මොහොතකට පෙර වේගවත් පිතිකරණයක නිරත වෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කළ රාශිඩ් ලකුණු 139කට දැවී ගියේය. අනෙක් අන්තයෙන් පාකිස්තානය සවිමත් කළ නිසාර් අලී ලකුණු 99ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. පන්දු යැවීමේ දී චන්දන කුමාර හා දිමුතු රවීන්ද්‍ර කඩුලු 2 බැගින් දවා ගන්නා ලදි. අනෙක් කඩුලු 5 දුවද්දී දැවී යාම් ලෙස පාකිස්තානු ලකුණු පුවරුවේ සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

ලකුණු 490ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක චන්දන දේශප්‍රිය යළිත් ශතකයක් ලබාගෙන නායකත්වයේ පිතිකරණයක නිරත විය. එම ඉනිම 4 පහර 11කින් හා 6 පහර 3කින් අලංකාරවත් විය. මැදපෙළ පිතිකරුවන් වන සමන් තුශාර හා රුවන් වසන්ත පිළිවෙළින් ලකුණු 45ක් හා ලකුණු 40*ක් ලබාගෙන දස්කම් අතරට පිවිසියේය.

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය නියමිත පන්දුවාර 40 තුළ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 337කි. ඒත් සමඟින් පාකිස්තානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙම තරගය ලකුණු 152කින් ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

පාකිස්තානය – 489/9 (40): මුහමඩ් රාශිඩ් 139, නිසාර් අලී 99, බදාර් මුණීර් 72, මොහොමඩ් රයිසාත් 40, චන්දන කුමාර 2/77, දිමුත් රවීන්ද්‍ර 2/89.

ශ්‍රී ලංකාව – 333/7 (40): චන්දන දේශප්‍රිය 102*, සමන් තුශාර 45, රුවන් වසන්ත 40*.

තරගයේ වීරයා – මුහමඩ් රාශිඩ්

තරගයේ වටිනාම ක්‍රීඩකයා – නිසාර් අලී

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලබන 20 වැනිදා පාකිස්තානය හා ඉන්දියාව අතර සහජා හිදී පැවැත්වේ. මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 21 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක