Menu

5 ද? 6 ද? මතය ඉදිරිපත් කරන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද රැස්වෙයි

January 11, 2018

ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මතයක් ඉදිරිපත් කිරිම සඳහා කළ ඉල්ලීම සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද (11) විවෘත අධිකරණයේදී රැස්වේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අනුව 2015 ජනවාරි 09 වනදා තමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් බවත් එම ව්‍යවස්තාවට අනුව ධුර කාලය වසර 06ක් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවත් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කළ ඉල්ලීමේ දැක්වේ.

ඒ අනුව තම ධුර කාලය සම්බන්ධයෙන් ලබන 14 වන දිනට පෙර මතයක් ඉදිරිපත් කරන ලෙසෙ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අගවිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කළ අතර අද එම විනිසුරු මඩුල්ල රැස්වීමට නියමිතය.එහිදී පාර්ශවකරුවන් ලෙස ඉදිරිපත් වී විනිසුරු මඩුල්ල හමුවේ කරුණූ දැක්වීමට අවස්ථාව පවතියි.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සාකච්ඡාවට භාජන කෙරෙන එම ප්‍රශ්නයට අදාළව තමා දරන අදහස ඉදිරිපත් කිරීමට කැමැත්ත දක්‌වා දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරියට වසර 06 ක්‌ ජනාධිපති ධුරය දැරීමට කිසිදු බාධාවක්‌ නැති බවත් තමා දරන ඒ මතය සවිස්‌තරව නීතිඥයකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට තමාට අවසර දෙන ලෙසත් සුමංගල හිමියන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

සුමංගල හිමියන්ගේ පෙත්සමේ මෙසේද සඳහන් කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකී ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 129 (1) වගන්තියට අනුවයි.

ජනාධිපති මැතිවරණය 2015 ජනවාරි මස 08 වැනිදා පැවැත්වූ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති පදවියේ දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 09 දායි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පරමාධිපත්‍ය ජනතාව සතුය. එය අත්හල නොහැක. රජයේ බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද අයිතිය ජනතා පරමාධිපත්‍යයට ඇතුළත් වේ. ජනාධිපති ධුරයට පත්වන්නේ සියලු රටවැසි ජනතාවගේ ඡන්දයෙනි. පසුගිය ජනාධිපති මැතිවරණයේදී ජනාධිපතිවරයා තෝරාපත් කළේ වසර 06 ක කාලසීමාවක්‌ එම ධුරය දැරීමටයි. ඒ අනුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ රෙගුලාසිවලට අනුව වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසිදු බාධාවකින් තොරව 2021 දක්‌වා ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක.

මා දරන එම අදහස්‌ නීතිඥවරයකු මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටිමි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක