Menu

දිල්ලි පිළ සුණු විසුණු කළ මාලිංග ප‍්‍රමුඛ මුම්බායි පන්දුයවන්නෝ අයිපීඑල් ඉතිහාසය වෙනස් කරයි

May 7, 2017

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 45 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව දිල්ලිහිදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 146 ක දැවැන්ත ජයක් අක්තරගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.මෙය අයිපීඑල් ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් ජයග‍්‍රහණය කල තරගය ලෙස වාර්තාපොතට එක්වනවා

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ඕවර 13.4 ක් අවසානයේ ලකුණු 66 කට සීමා කිරීමමට මුම්බායි ඉන්දියන්ස් පන්දුයවන්නෝ සමත් වූහ.

එහිදී හර්බජාන් සිං සහ කරන් ශර්මා කඩුලු 3 බැගින් දවාගනිමින් දිල්ලි ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ලකුණු 5 කට කඩුලු 2 ක් දවාගත් ලසිත් මාලිංග දිල්ලි කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සඳහා ඔවුන්ට අනිගි සහායක් දුන්නේය.

දිල්ලි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කරුන් නායර් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් රැස්කළ අතර පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙරම දැවී යෑම දිල්ලි කණ්ඩායමට විශාල පාඩුවක් විය.

කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක සාහිර් ඛාන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 212 ක් ලබාගත්තේය.

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කරන් පොලාඞ් පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 63 ක් ලබා මුම්බායි ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

හර්දික් පාණ්ඩ්‍යා (නොදැවී 29) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 59 ක වේගවත් නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙනයෑමටද පොලාඞ් සමත් විය. පන්දු 14 කදී වාර්තා වූ පාණ්ඩ්‍යාගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලෙන්ඞ්ල් සිමන්ස් (66) සහ පාර්තිව් පටේල් (25) මුම්බායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 43 කදී වාර්තා වූ සිමන්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ පටේල්ගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත විය.

වැඩිපුරම කියැවූ පුවත්