Menu

‘සිංහ පිළේ අංක තුන ධනංජයටද’.. මහේලගෙන් ක‍්‍රිකට් පරිපාලනයට සැර කතාවක්..

December 7, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තෙවන සහ අවසාන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවන ඉනිමේ දැඩි පීඩනයක් යටතේ ඉහල දක්ෂතා පෙන්වූ ධනංජය සිල්වා සහ රොෂේන් සිල්වාගේ පිතිහරම්භය පිළිබඳව  ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ මෙන්ම සහෝදර ක්‍රීඩකයන්ගේද සුභ පැතුම් එකතු කර තිබෙන අයුරු ඊයේ තරඟය අවසානයේ දැකගත හැකි විය.

තෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භයේ සිටම ඉන්දීය නායක විරාත් කෝලි තමන්ගේ සම්පූර්ණම ජවය යෙදුවේ මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙනි. එහෙත් මේ පළපුරුදු දඩයක්කාරයා තම නිජබිමේ දී තවත් දරුණු වෙද්දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් දෙදෙනා තරගය ගෞරවනීය ලෙස නිමා කළේ කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායම හරි අපූරුවට මෙල්ල කරමිනි.

මෙම තරඟය විස්තර විචාරයට එකතු වූ රසල් ආනල්ඩ් සුභ පැතුම් එක් කර තිබුනේ අවසන් දිනයේ මොවුන් දෙදෙනාගේ පිතිහරම්භය බලා තමා දැඩි සතුටට පත්වූ බවත් ඉහල මට්ටමේ ටෙස්ට් ඉනිම් දෙකක් ලෙස මෙම පිතිහරම්භය සැලකිය හැකි බවය.

සහෝදර ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ පෙරේරා සුභපතා තිබුනේ කාලයක් තිස්සේ පළමුපෙළ තරඟාවලි වල තමා දුටු දක්ෂතාව ජාත්‍යන්තරයට පෙන්වූ මෙම දෙදෙනාට හොඳ අනාගතයක් ඇති බවය.

ප්‍රවීණ ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ පවසා තිබුනේ ශ්‍රී ලංකාව කලක් සොයමින් සිටි ස්ථාවර මැදපෙළ පිතිකරුවාගේ කාර්ය තමාට කළහැකි බව රොෂේන් පෙන්නුම් කල බවය.

ක්‍රිකට් විචාරකයෙකු වන ඩැනියෙල් ඇලෙක්සැන්ඩර් පවසා තිබුනේ තෙවන තරඟය දක්වා මෙම දෙදෙනාට අවස්ථාව නොදී බැංකුවේ තැබූ ක්‍රිකට් තේරීම් කමිටුවට හොඳ පිළිතුරක් මෙම තරඟයේ ලැබුන බවය.

හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසා තිබුනේ මෙම තරඟයේ අංක තුන පිතිකරුවෙකු ලෙස ශතකයක් ලබා ගත් ධනංජය සිල්වා තමා කොතරම් දක්ෂ පිතිකරුවෙකු දැයි මෙම තරඟයේ ඔප්පු කල බවත් ඉතා අපහසු තරඟයේ කණ්ඩායම් දෙකම හොඳ දක්ෂතා පෙන්වූ බවත් තරඟාවලිය ජයගත් ඉන්දියාවට සුභපැතුම් එකතු කරන බවය.

එහිදී ඔහුගේ රසිකයෙකු මහේලගෙන් ධනංජය ශ්‍රී ලංකාව සොයමින් සිටි අංක තුන පිතිකරුවා නොවේදැයි ඇසු ප්‍රශ්නයට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දැනෙන පිළිතුරක් ලබා දෙමින් පවසා තිබුනේ ධනංජය මැදපෙළ පිතිකරුවෙකු ලෙස හොඳ දක්ෂතා පෙන්වමින් සිටියදී ඔහුව කණ්ඩායමෙන් කපා දැමු අය ඉදිරියේ නැවතත් එලෙස නොකරනවානම් එය තමාගේ සතුට බව මහේල පවසා තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩකයන්ට ස්ථාවර වීමට නොදෙමින් පසුගිය කාලයේ කල ක්‍රීඩක මාරු කිරීම් වලට නිසි පිළිතුරක් ලබා දෙමිනි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක