Menu

උතුරු කොරියානු නායකයා ඝාතන සැලැස්මක් ‘හැකරුන්’ ගේ අතරට..ලොවම රත්කරමින් උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

October 17, 2017

සිය රට පිළිබදව ඇමරිකාවේ පස මිතුරු ප්‍රතිපත්තිය වෙනස් කරන තුරු න්‍යෂ්ටික අවි හෝ මිසයිල පිළිබදව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්විය නොහැකි බව උතුරු කොරියාව පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියානු නියෝජ්‍ය තානාපති කිම් ඉන් රියොන් ජගත් සංවිධාන මහා මණ්ඩලය අමතමින් කියා සිටියේ කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය තවමත් උණුසුම්කාරී බවයි.

මේ නිසා  ඕනෑම මොහොතක න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලිය හැකි බව උතුරු කොරියානු නියෝජිතයා අවධාරණය කළා.

මේ අතර බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කරවූ බව ඇමරිකාව කියා සිටියා.

ඇමරිකාවට අයත් බී -1බි ප්‍රහාරක යානා සහ දකුණු කොරියාවට අයත් එෆ් – 15කේ යුද යානා එක්ව මෙම යුද අභ්‍යාසය පවත්වා තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම යානා ඇමරිකාවට අයත් ගුවෑම් දූපතේ සිට ගුවන්ගත කර ඇති අතර නැගෙනහිර මුහුදේ සහ කහ මුහුදේ ප්‍රහාරක අභ්‍යාස සිදු කළ බව දකුණු කොරියානු ආරක්ෂක අංශ කියා තිබෙනවා.

ජපාන ගුවන් හමුදාව ද මේ සඳහා සහාය දක්වා ඇති බවද විදෙස් වාර්තා පවසනවා.

මේ අතර බි බි සි පුවත් සේවය වාර්තා කර ඇත්තේ උතුරු කොරියානු පාලක කිම් ජොන් අන් (Kim Jong-un) ඝාතනය කරනු ලැබීමේ සැලැස්මක් ද ඇතුළුව දකුණු කොරියානු ආණ්ඩුවේ යුද ලේඛන මහා තොගයක් උතුරු කොරියාව අතට පත්ව ඇති බවයි.

උතුරු කොරියානු ‘හැකරුන්’ විසින්  එම දකුණු කොරියානු යුද ලේඛන පැහැර ගෙන තිබෙනවා.

එම තොරතුරු සියරටේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගෙන ඇතැයි  දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලී චල් හී (Rhee Cheol-hee) සඳහන් කර ඇතැයි ද බි බි සි ය කියා සිටිනවා.

අනාගතයේ සිදු වීමට ඉඩකඩ ඇති යුද්ධයක් සැලකිල්ලට ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර ඇතිවූ එකඟතාවක් අනුව පිළියෙළ කරන ලද යුද සැලැස්මක් පැහැර ගනු ලැබ ඇති ලේඛනවලට ඇතුළත් වන බවයි එහි දැක්වෙන්නේ.

එහෙත් එම තොරතුරු උතුරු කොරියාව අතට පත්ව ඇති බවට පළ වෙන වාර්තා සම්බන්ධයෙන් නිල වශයෙන් අදහසක් පළ කරනු ලැබීම දකුණු කොරියාව තවමත් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.

උතුරු කොරියාව අතට පත්ව ඇති තොරතුරු අතර දකුණු කොරියාවේ යුද මධ්‍යස්ථාන සහ විශේෂ විදුලි බල මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු මෙන්ම එරට විශේෂ හමුදාවන්ට අදාළ සැලසුම් ද ඇති බව සඳහන්.

ආරක්ෂක තොරතුරු සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ යුද ලේඛන මෙසේ සොරකම කර තිබෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ බවත් වාර්තා වනවා.

තම රටේ රහස්‍ය තොරතුරු විශාල ප්‍රමාණයක් සොරකම් කරනු ලැබ ඇති බව පසුගිය මැයි මාසයේ  දකුණු කොරියාව, පිළිගෙන තිබුනා.

අසල්වැසි කොමියුනිස්ට් සගයා විසින් සිය අන්තර්ජාල වෙබ් අඩවි සහ වෙනත් ආයතන ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලබන සයිබර් ප්‍රහාර රැල්ලකට ‘සෝල්'(Seoul) පාලනය ගොදුරු වී ඇති බව දකුණු කොරියාවේ යොන්හැප් (Yonhap) පුවත් ආයතනය වාර්තා කර තිබු බවත් බි බි සි ය සඳහන් කරනවා.

උතුරු කොරියාව ‘හුදෙකලා’ රාජ්‍යයක් වන නමුත් චීනය ද ඇතුළු පිටරටවල ස්ථානගත කරන ලද විශේෂයෙන් පුරුදු පුහුණු කරන ලද හැකරුන් සතුව සිටින බව විශ්වාස කෙරෙනවා.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක