Menu

ඔත්තුකරුවන්ට අල්ලස් ලබාදුන් ලේඛණයක් පර්පෙචුවෙල් ප‍්‍රධාන ගැනුම්කරු බැදුම්කර කොමිසමට දෙයි

October 12, 2017

ඔත්තුකරුවන්ට අල්ලස් ලබාදුන් ලේඛණයක් පර්පෙචුවෙල් ප‍්‍රධාන ගැනුම්කරු බැදුම්කර කොමිසමට දෙයි

ඔත්තුකරුවන්ට අල්ලස් ලබාදී, අර්ථසාධක අරමුදල ඇතුළු ආයතනවල රහස්‍ය තොරතුරු සැපයූ අයට කළ ගෙවීම් පිළිබද වාර්තා ඇතුලත් ලේඛනයක්, පර්පෙචුවල් ප්‍රධාන ගැණුම්කරු නුවන් සල්ගාදු බැදුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමට ලබාදුන් බව වාර්තා වනවා.

වගකිවයුත්තන් අනාවරණය වී අවසන්

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු මාලාව සම්බන්ධයෙන් කොමිසමට අවශ්‍යව තිබූ සියලු තොරතුරු මේ වන විටත් අනාවරණය කරගෙන හමාර බවත් එබැවින් තවත් සාක්ෂි දෙකක් පමණක් තහවුරු කර ගැනීමෙන් පසු කොමිසමේ සාක්ෂි විභාගය අවසන් කරන බවත් මහබැංකු බැඳුම්කර කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (11දා) ප්‍රකාශ කළේය.

ඔහු එලෙස ප්‍රකාශ කර සිටියේ තවත් 20 දෙනකු පමණ සාක්ෂි ලබාගැනීම සඳහා කොමිසම හමුවට කැඳවන ලෙසට ඉල්ලා සිටිමින් ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඉල්ලා සිටි අවස්ථාවේදීය.

කොමිසමේ කාර්යභාරය වූයේ සිදුව ඇති ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනු පිළිබඳව කරුණු සොයා බලා ඊට අදාළ වගකිවයුත්තන් කවුරුන්ද යන්න අනාවරණය කොට ගැනීම බවත් එම කර්තව්‍යය ඉතාමත්ම සාර්ථක ලෙස ඉටුකර ගැනීමට කොමිසම මේ වන විටත් සමත් වී ඇති බවත් එබැවින් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරි මහතුන් විසින් ඉදිරිපත් කොට ඇති මේ ලැයිස්තුවෙන් තිදෙනකු පමණක් කැඳවා තහවුරු කරගත යුතු කරුණු සාක්ෂාත් කර ගැනීමට තීරණය කළ බවත් සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දැන් ඉතිරිව ඇත්තේ වාර්තාව සැකසීමේ කාර්ය පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඒ අනුව ඊයේ දිනයේම ඉන් එක් අයකු වූ මීට පෙරද කොමිසම හමුවේ සාක්ෂි ලබාදී සිටි සමන් කුමාර නමැත්තා කැඳවා කරුණු කිහිපයක් තහවුරු කරගනු ලැබීය.

ඊට අමතරව අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික සේවා සහකාර ස්ටීම් සැමුවෙල් හා ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකා යන සාක්ෂිකරුවන් දෙදෙනා අද (12දා) හා හෙට (13දා) දින කැඳවීමටත්් කොමිසම එහි ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතාට නියම කළේය.

අර්ජුන රවි කියූ දේ කබීර් මලික් බොරු කරති

මේ අතර හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සහ එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් දිගින් දිගටම ප්‍රකාශ කොට සිටි පරිදි රුපියල් බිලියන 75ක හදිසි මුදල් අවශ්‍යතාවක් 2015 පෙබරවාරි වන විට රජයට නොතිබූ බවත් එවැනි අරමුදල් අවශ්‍යතාවක් ගැන 2015 පෙබරවාරි 26 වැනි දින මහ බැංකුවේ පැවැති රැස්වීමේදී කරුණු සාකච්ඡා නොවූ බවත් රජයේ ප්‍රධාන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු වන කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම මහත්වරු ඊයේ (11දා) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සිදු කරන ලද ප්‍රකාශවලින් තහවුරු විය.

කොමිසමේ නියමය පරිදි කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් දෙදෙනා ඊයේ පෙරවරු 10.00ටත් පෙර කොමිසම හමුවට පැමිණ සිටියහ.
කොමිසමේ සභාවාරය ඊයේ ආරම්භ වීමත් සමඟම එහි සභාපති ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී. චිත්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටියේ කොමිසමට සහාය වන නීතිපති දෙපාර්තමේන්තු නීතිඥ මණ්ඩලයේ ඉල්ලීමකින් ද තොරව මෙම අමාත්‍යවරුන් දෙදෙනා කොමිසම හමුවට කැඳවීමට කොමසාරිස්වරුන් වශයෙන් තීරණය කරන ලද්දේ ඔවුන් දෙදෙනාද සහභාගි වූ මහ බැංකුවේ පැවැති රැස්වීමකදී සාකච්ඡා වූ බවට කොමිසම හමුවේ ප්‍රකාශ වී ඇති වැදගත් කරුණු කිහිපයක් තහවුරු කර ගැනීම සඳහා බවය.
ඒ අනුව ප්‍රථමයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගෙන්ද දෙවනුව අමාත්‍ය කබීර් හෂීම් මහතාගෙන්ද කොමසාරිස්වරුන් කරුණු විමසා සිටියහ.

සභාපති විනිසුරු
ප්‍ර – 2015 පෙබරවාරි මස 26 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ රවි කරුණානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට ඔබ සහභාගි වුණාද?
පි – ඔව්. සහභාගි වුණා.
ප්‍ර – ඔබ එයට සහභාගි වූයේ කවුරුන් හැටියටද?
පි – අගමැති රනිල් වික්‍රමසිංහගේ ජේ‍යෂ්ඨ උපදේශක වශයෙන්.
ප්‍ර – කුමන කරුණක් අරබයාද?
පි – ආර්ථික කළමනාකරණ කමිටු රැස්වීමේදී අගමැතිවරයා සඳහන් කළා නව රජය පත්වීමත් සමඟම ඇනහිට ඇති මාර්ග සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් ආදිය ගෙවා දැමීමට කටයුතු සම්පාදනය කරන ලෙසට. ඒ අනුව එම ගෙවීම් කටයුතු ඉටුකළ යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීමයි අරමුණ වූයේ.
ප්‍ර – රුපියල් බිලියන 75ක හදිසි අරමුදලක් රැස්කරගත යුතු බවට කරුණු සාකච්ඡා කළාද?
පි – නැහැ ස්වාමිනී, සම්පූර්ණයෙන්ම රුපියල් බිලියන 18ක පමණ අවශ්‍යතාවක් තිබුණේ. එයිනුත් රුපියල් බිලියන 03ක ප්‍රමාණයක් අත තිබුණා.
ඒ නිසා අවශ්‍යතාව වී තිබුණේ රුපියල් බිලියන 15ක මුදලක් පමණයි.
ප්‍ර – භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකින් එක් රැස්කරගත යුතු යැයි එම සාකච්ඡාවේදී තීරණය වුණාද?
පි- එවැන්නක් සාකච්ඡා වුණේවත් නැහැ. ස්වාමිනී.
ප්‍ර – එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ අරමුදලට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් පරිත්‍යාග කළ බවක් ඔබ දන්නවාද?
පි – මගේ දැනීමේ තරමට මා නම් දන්නේ නැහැ.
ප්‍ර – ඔහුගේ පවුලේ වෙනත් අයකුගෙන් එවැනි මුදල් පරිත්‍යාගයක් කළ බවක් දන්නවාද?
පි – නැහැ ස්වාමිනී. මගේ දැනුවත් භාවයෙන් නම් සිදුවුණේ නැහැ.
ප්‍ර – ඔබලා සහභාගි වූ රැස්වීමට පසු දිනයේ පෙබරවාරි 27 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වුණු බව ඔබ දන්නවාද?
පි – මා දැන සිටියේ නැහැ ස්වාමිනී.
ප්‍ර – මාර්ග සංවර්ධනය සඳහා මහ බැංකුව මුදල් ලබා දුන්නාද?
පි – ස්වාමිනී මහ භාණ්ඩාගාරයෙන් නම් 2015 මාර්තු මස 16 වැනි දින රුපියල් බිලියන 8ක් ලැබුණා. එපමණයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක