Menu

කොදෙව්වන්ගෙන් ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමට ප‍්‍රබල අභියෝගයක්.. මාලින්ද පමණක් බලාපොරොත්තුවක් දෙයි

October 12, 2017

කොදෙව්වන්ගෙන් ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමට ප‍්‍රබල අභියෝගයක්.. මාලින්ද පමණක් බලාපොරොත්තුවක් දෙයි

ශ‍්‍රී ලංකා ඒ ක‍්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඊයේ (11) ආරම්භ වුනේ ජැමෙයිකාවේ ෆ්ලොරන්ස් හෝල් හි පිහිටි ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේ දීයි.

එහිදී කාසිය වාසිය දිනූ කොදෙව් ඒ කණ්ඩායමේ නායක බෘක්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 236ක් රැස් කරන්නට කොදෙව්වන් සමත් විය.

එහිදී මොන්චින් හොජ් සහ ජෝන් කැම්බල් කොදෙව් ඉනිම ආරම්භ කළ අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 44කට සීමා කරමින් හොජ්(13) නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට මාලින්ද පුෂ්පකුමාර සමත් වුනේ සඳුන් වීරක්කොඩිගේ ස්ටම්ප් කිරීමක් මගිනුයි.

දිවා ආහාර විවේකයේ දී එක් කඩුල්ලකට ලකුණු 57ක් ලබා සිටි කොදෙව් ‘ඒ‘ කණ්ඩායම පළමු දිනයේ දෙවන කොටස තුළ ලකුණු 86 ක් එක කර ගනිද්දී තවත් කඩුලු දෙකක් දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. නායක බෘක්ස් දුවද්දී දැවී යාමකට හසු වීමෙන් පසු අර්ධ ශතකයක් රැස් කළ ආරම්භක පිතිකරු කැම්බල් දැවී ගියේ ෂෙහාන් ජයසූරියගේ පන්දුවකට සඳුන් වීරක්කොඩි යලිත් ස්ටම්ප් කිරීමකින් ලබා දුන් දායකත්වය හේතුවෙනුයි.

මේ අනුව තේ පානය සඳහා තරගය නතර කරන විට කොදෙව් ලකුණු පුවරුව 143/3 ලෙස සටහන්ව තිබුණි. නැවත තරගය ආරම්භ වී වැඩි වෙලාවක් ගත වීමට මත්තෙන් ජමාර් හැමිල්ටන් ලකුණු 6කට දැවී ගියේ පුෂ්පකුමාරගේ දෙවන කඩුල්ල ලෙසින්. කෙසේ වෙතත් 5 වන කඩුල්ල සඳහා ලකුණු 91ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගු විශාල් සිං සහ සුනිල් අම්බ්‍රිස් තරගයේ වාසිය කොදෙව්වන් වෙත දෝලනය කරන්නට සමත් විය.

වේගවත් පිතිහරඹයක නිරත වූ අම්බ්‍රිස් පන්දු 75ක දී නොදැවී ලකුණු 62ක් ලබාගත්තේ හතරේ පහර 10ක් ද සමඟයි. විශාල් ඔහුට අනගි සහයක් ලබා දෙමින් ලකුණු 58ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පන්දු යවන්නන් 8 දෙනෙකු යොදා ගත්ත ද ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තේ පුෂ්පකුමාර සහ ජයසූරිය පමණක් වූ අතර වේග පන්දු යවන්නන්ට එකදු කඩුල්ලක් හෝ නොලැබීම කැපී පෙනුනි.

ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘ පළමු ඉනිම – 236/4 (76.1) – සුනිල් අම්බ්‍රිස් – 62*, විශාල් සිං – 58*, ජෝන් කැම්බල් – 56, මාලින්ද පුෂ්පකුමාර – 2/62, ෂෙහාන් ජයසූරිය – 1/39

ශ්‍රී ලංකා කණ්ඩායම: රොන් චන්ද්‍රගුප්ත, සඳුන් වීරක්කොඩි, ධනංජය ද සිල්වා (නායක), චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, ෂෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, මාලින්ද පුෂ්පකුමාර, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක