Menu

“ඕවා බලලා වැඩක් නෑ.”, “ලංකාවේ ක්‍රිකට් ඉවරයි” ..‘රාජා, ඔබේ නිජබිමේ දී ඔබව ලැජ්ජාවට පත්කළාට සමාවන්න.“

October 11, 2017

“ඕවා බලලා වැඩක් නෑ.”, “ලංකාවේ ක්‍රිකට් ඉවරයි” ..‘රාජා, ඔබේ නිජබිමේ දී ඔබව ලැජ්ජාවට පත්කළාට සමාවන්න.“

“ශ්‍රී ලංකාවට නැගිටින්නට නොදී පහර දෙන්න.” ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු සංචාරය ඇරඹෙන්නේ එවන් පිළිගැනීමක් සමඟිනි. සාමාන්‍යයෙන් තරගාවලියකට පෙර වචන හරඹ පෑම ප්‍රතිවාදීන්ට සුපුරුදු කරුණක් වුවත්, හොඳටම පහර කා බිම වැතිරී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එවැන්නක් පෑම “අඬන්නට සිටි එකාට ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක්” විය.

තත්වය එසේ තිබිය දී හතරවටින් දෝෂදර්ශනයට ලක්වූ (පිතිකරණය පිළිබඳ) දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත් වන්නේ ‘ඉහත පිළිගැනීම‘ ශ්‍රී ලංකාවට පුදකළ රමීස් රාජාගේ වදන්වලින් හයිය ගනිමිනි.

තරගාවලිය ගැන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුගේම අදහස් විමසීමේ දී පෙනී ගියේ ඔවුන් ක්‍රිකට් ගැන දක්වන උනන්දුව කෙමෙන් හීනවන බවයි. “ඕවා බලලා වැඩක් නෑ.”, “ලංකාවේ ක්‍රිකට් ඉවරයි” වැනි අදහස් ඒ අතරින් සුලබ ය.

ලාංකිකයන් හමුවේ තිබූ කන්ද

ශ්‍රී ලංකාව මැදපෙරදිග දී පාකිස්තානය හමුවූයේ කුමන පසුබිමක දී දැයි මඳක් අවධානය යොමු කරමු. පාකිස්තානය මැදපෙරදිග තමන්ගේ නිවහන කරගත් පසුව (2009 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු) කිසිදු රටකට එරෙහිව ටෙස්ට් තරගාවලියක් පරාජය වී නොතිබිණ. ලෝකය හෙල්ලූ දකුණු අප්‍රිකානුවන් මැදපෙරදිග ගොස් හොට බිම ඇනගත්තේය. ඔවුන්ටත් අභියෝගයක් වූ එංගලන්තය ද මැදපෙරදිග ගොස් දහදියෙන් තෙත්ව නැවත ආවේය.

පාකිස්තානුවන් 2009න් පසු මැදපෙරදිගදී ටෙස්ට් තරගාවලි 9කට ක්‍රීඩා කොට ඉන් 5ක් ජයගෙන, 4ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබුණි. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව යන කිසිදු රටකට මැදපෙරදිග දී ඔවුන්ව පරාජය කළ නොහැකිව තිබූ පසුබිමක දී එහි සංචාරය කළ, හතරවටින් පහර කා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට වාග් ප්‍රහාර ද ලබාදීමට පාකිස්තානු විචාරකයා තීරණය කළේ ඇයි දැයි අපි නොදනිමු.

එමෙන්ම රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කළ යුතු දිවා-රාත්‍රී ටෙස්ට් තරග අභියෝගයක් පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහි දී එල්ල වී තිබිණි. පාකිස්තානුවන් ද එවන් අත්දැකීමකට මුහුණ දුන්නේ පළමු අවස්ථාවට වූ බැවින් එතැන්හිදී දෙපිලම සමබිමක සිටි නමුත් වේගපන්දු යවන්නන්ගේ ශක්තිය සැසඳීමේ දී එය මහා කන්දක් ලෙසයි දිස්වුණේ.

එහෙත් වචන හරඹයෙන් පසු ගතවූ සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රමීස් රාජාට පිළිතුරු දුන්නේ කෙසේද?

වැටි වැටිමුත් නැගිටි දිමුත්

පාකිස්තානු තරගාවලියට පෙර “දෙවැනි ඉනිමේ දී” පමණක් ඉදිරියට එන පිතිකරුවෙකු සේ සැලකූ දිමුත් කරුණාරත්නගෙන් ThePapare මාධ්‍යවේදීන් පළමු ඉනිමේ අසාර්ථකත්වය ගැන අදහස් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමන් එය විශ්ලේෂණය කළ බවත්, තමන් පීඩනයෙන් තොරව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

කියූ වචනවල ගෞරවය එලෙසින්ම රැකගත් ඔහුව මිත්‍රශීලී දෑතින් වැළඳගන්නට සිතේ. පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරග දෙකේ මුල් ඉනිම් දෙකේ දී ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 289කි. ඒ ඉනිම දෙකේ දී ම ඔහුට මංසලකුණු දෙකක් මඟහැරී ගිය ද පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලද ලකුණු 93දී ශ්‍රී ලංකාවට විශ්වාසය ඇතිකිරීමට ඔහු සමත් වූ අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලද ලකුණු 196 ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ හැකියාව විවර කළේය.

 

චන්දිමාල් සාධකය

දිනේෂ් චන්දිමාල් නමැති දක්ෂ ක්‍රීඩකයා සහ නායකයා අයහපත් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස අසාර්ථකත්වයට පත්වූ ආකාරය අපි මින් පෙර ලිපියක දී කතා කළෙමු. එහෙත් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ඔහුගෙන් ඉටුවූ නායකත්ව කාර්යභාරය ගැන මෙහි සටහන් නොකරම බැරිය.

කුමන හොඳ කළත් බැනුමට හසුවන ක්‍රීඩකයෙකු ලෙස සඳහන් කළ හැකි චන්දිමාල් නොයෙක් අභියෝග මැද ටෙස්ට් නායකත්වය භාරගන්නා විට ඒ ගැන ඇතැම් ප්‍රේක්ෂකයන් දැක්වූ ප්‍රතිචාරය මෙවැන්නකි. “අයියෝ!”

නායකත්වය භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු පැවසූ අදහස් ගැන ඇතැමුන් කතා කළේ උපහාසයෙනි.

“මට ඕන අපේ කණ්ඩායම ලෝකේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම කරන්නයි.” චන්දිමාල් එසේ කියන විට සිනාසුණු මුහුණු ගණන සුළුපටු නොවේ.

එහෙත් ජයගන්නට නොහැකිව වේලි වේලී සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ජයග්‍රහණය ගෙන එන්නට ඔහු ඇතුළු කණ්ඩායම සමත්ව ඇත. අප තව දුර යා යුතු බව සැබෑය. එහෙත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයට පසුබැස සිටි ශ්‍රී ලංකාව දැන් පාකිස්තානය පසුකොට පියවරක් ඉදිරියට පැමිණ ඇත. එසේ ඉහළට ආ ලාංකිකයන් ලද ජයග්‍රහණය එසේ මෙසේ එකක් නොවේ.

මැදපෙරදිග දී පාකිස්තානුවන් ටෙස්ට් තරගාවලි පරාජයකට ලක්කළ පළමු ටෙස්ට් කණ්ඩායම වීම ඇතුළුව, 2007 වසරෙන් පසු පාකිස්තානය ඔවුන්ගේම නිජබිමේ දී පරාජය කළ පළමු කණ්ඩායම, රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කළ ටෙස්ට් තරගයක් නිජබිමෙන් පිටත දී ජයගත් පළමු කණ්ඩායම ද, වසර 115කට පසු තෙවැනි ඉනිමේ ලකුණු 100ට අඩුව දැවීගොස් ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව පළමු කණ්ඩායම ද ශ්‍රී ලංකාවයි.

ඊට පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී චන්දිමාල් නොදැවී ලද ලකුණු 155න් ලැබුණු දායකත්වය අප සිහිතබාගත යුතුය. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් කලකට පසු ආක්‍රමණශීලී ටෙස්ට් නායකයෙකු බිහිවී ඇති බව ද කිවහැක්කේ ඔහුගේ පිටියේ තීරණ සලකා බැලීමේ දී යි.

සෑම ක්‍රීඩකයෙකුම සෑම ලකුණක්ම නැවැත්විය යුතුය යන අධිෂ්ඨානය පෙරදැරිව ක්‍රීඩා කරනු හොඳින්ම පෙනුණු අතර පිටිය සැකසීමේ දී සෑම විටම උඩපන්දු ලබාගන්නන් ස්ථානගත කොට තිබූ ආකාරය විශිෂ්ට ය. ටෙස්ට් ක්‍රිකට් තරග ජයගැනීම යනු කඩුලු 20ක් ලබාගැනීම බව චන්දිමාල් නැවත ශ්‍රී ලංකාවට මතක් කොට දී ඇත.

එමෙන්ම විනිසුරු තීරණ විමසීමේ දී ඔහු පෙන්වූ ආක්‍රමණශීලී භාවය, එසේත් නැත්නම් ක්‍රීඩකයන් විමසීම ප්‍රකට විය. විටෙක තරහින් සහ විටෙක ඉවසීමෙන් පිටියේ තීරණ ගන්නා චන්දිමාල් දෙස බලා සිටි ‘වැඩිමහල්‘ ප්‍රේක්ෂකයෙකු හැටියට, අර්ජුන රණතුංග නම් චරිතය බොහෝ අවස්ථාවල දී සිහිවිය. චන්දිමාල්, අර්ජුන වැනි නායකයෙකු යැයි පාරම් බෑ යුතු නැත. එහෙත් අර්ජුනගේ යම් යම් චරිත ලක්ෂණ ඔහු තුළින් විවර වූයේ ඔහු ද ආදි ආනන්දියෙකු වීම නිසාදෝ විටෙක සිතේ.

“අපට ඉස්සර පිතිකරුවන් එක්ක කතා කරන්න බෑ. හිනාවෙන්න බෑ. ඕවරයකදි වැරදි පන්දුවක් දැම්මොත් අර්ජුන අයියගේ අත් දෙක ඉණට එනවා. ඒ කියන්නේ අපි ඉවරයි. ඔහුට තරහ ගිහින්. ඉතින් ඒ වෙලාවට අම්පයර්ගෙන් කැප් එකවත් ගන්නේ නැතුව ඕවරේ ඉවරවෙලා මම කෙලින්ම හතරේ සීමාව ළඟ ෆීල්ඩ් කරන්න දුවනවා. කතා කරත් ඇහුනේ නෑ වගේ තමයි දුවන්නේ.” මෙසේ කියන්නේ 1996 ලෝක කුසලාන ශූර කණ්ඩායමේ පන්දු යවන්නෙකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යි.

ශ්‍රී ලාංකික අපට තරවටු කළ යුතු තැන දී තරවටු කළ යුතුය. අපේ ජාන ඊට හැඩගැසී තිබෙන බව පැහැදිලි වන්නේ තරවටුවෙන් තොරව යමෙකුට පාඩම් කියාදීමට යෑමේ දී ය.

අර්ජුනගේ දැඩි තීරණ සහ ආක්‍රමණශීලීභාවය නිසා ශ්‍රී ලංකාව ලෝක කුසලානයක් දිනාගත්තේය.

පරිණතභාවයේ සලකුණ

දඟපන්දු යවන්නෙකුගේ පරිණතභාවය ගැන සලකුණක් තබන්නේ නම් එතැන සිටිය යුත්තේ රංගන හේරත් ය. තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 136ක ඉලක්කයක් පමණක් හඹාගිය පාකිස්තානුවන් ඔවුන්ගේ නිජබිමේ දී ම බිම හෙලීමට ශ්‍රී ලංකාවට හැකිවුණේ රංගනගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේයි.

එම තරගයේ දී ම තම 400 වැනි ටෙස්ට් කඩුල්ල සනිටුහන් කළ මේ මිටි, තරබාරු බැංකු නිලධාරියා තරගය තුළ දී කඩුලු 5 දස්කම් දෙකක්ද සටහන් කරමින් කඩුලු 11ක් වාර්තා කළේය. පාකිස්තානයට එරෙහිව පමණක් කඩුලු 101ක් ලබාගෙන ඇති ඔහු පාකිස්තානයට එවන් හිසරදයක් වූ එකම දඟපන්දු යවන්නායි.

ඔහු ගැන කතාව නවතන්නේ කොතැනින්දැයි සිතාගත නොහැකිය.

එහෙත් ඔහු ගැන අප මේ වන විටත් වර්ණනා කොට ඇති බැවින් කෙටියෙන් යම් සටහනක් තැබුවෙමි.

දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය කඩුලු ලැබුණේ ඔහුගෙන් නොව ඔහුගේ අනෙක් සගයා, දිල්රුවන් පෙරේරාගෙනි.

මහපොළොවේ සැඟවුණු රුවන්

ඔහු කණ්ඩායමට පැමිණියේ කොතැනින් දැයි කියා හෝ බොහෝ දෙනෙකුට මතකයක් නැත. ඔහු එක්දින ආරම්භක පිතිකරුවෙකි. වේගවත් පිතිකරණයට සමතෙකු වන දිල්රුවන් පෙරේරා, වරෙක ටී. එම්. ඩිල්ෂාන් හා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරණයට එක්විය.

එහෙත් කාලාන්තරයක්ම කණ්ඩායමෙන් පිට සිටි දිල්රුවන්ගේ මීළඟ ජාත්‍යන්තර ආගමනය සිදුවන්නේ ටෙස්ට් දඟපන්දු යවන්නෙකු හැටියටයි. ඔහු එහි දී සාර්ථක ය. රංගන හේරත් විසින් තම ආධිපත්‍යට නතුකරගෙන තිබෙන ශ්‍රී ලංකා ටෙස්ට් පන්දු යැවීමේ අංශය තුළ සිටිමින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ඔහු සමත්ව ඇත.

අවසන් වූ තරගාවලියේ පළමු තරගයේ දී ඔහු පිතිකරුවෙකු වශයෙන් ලකුණු 33ක් වාර්තා කළේ චන්දිමාල්ට මනා සහයක් ලබා දෙමිනි. දෙවැනි තරගයේ දී දිමුත් හා එක්වී ලකුණු 58කින් ඔහුට සහය වන්නට ද දිල්රුවන් සමත් විය.

එහෙත් ඔහුගේ දඟපන්දු වල අගය නැවතත් අපට වැටහුණේ රංගනට සුපුරුදු වේගයෙන් කඩුලු ලබාගැනීමට නොහැකි වූ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දීයි. ලකුණු 317ක් හඹායමින් සිටි පාකිස්තානුවන් වරෙක ලකුණු 52කට කඩුලු 5ක් දැවී අසරණව සිටිය දී සටන්කාමීන් ලෙස සර්ෆ්රාස් අහමඩ් සහ අසාද් ශෆීක් එක්ව ලකුණු 173ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. ඉන් අනතුරුව දිස්වුණේ ශ්‍රී ලංකාවට යම් අභියෝගයක් ඇති බවයි.

එහෙත් ක්‍රියාත්මක වූ දිල්රුවන් කඩුලු 5ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළේ සුපුරුදු පරිදි කිසිවෙකුට නොපෙනෙන ආකාරයෙනි.

දික්වැල්ලගේ කාර්යභාරය

නිරෝෂන් දික්වැල්ල, ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වී කෙටිකලකින්ම පුවත් මවන චරිතයකි. එහෙත් මෙම තරගාවලියේ දී ඔහුගෙන් දිස්වූ දස්කම් ඉතාමත් හොඳ පුවත් වේ. කණ්ඩායමට අවශ්‍ය පරිදි 6 වැනි කඩුල්ලේ තම කාර්යභාරය ඉටු කළ දික්වැල්ල, අර්ධ ශතක දෙකක් සහ නොදැවී ලකුණු 40ක්ද වාර්තා කළේය.

වේගපන්දු බලඇණිය

‘මැදපෙරදිග ටෙස්ට් තරගයක් සඳහා වේගපන්දු යවන්නෙකු ලෙස එක්වීම‘ නම් අභියෝගය හතුරෙකුටවත් නොවේවා යැයි පැතිය යුතු අපහසු අභියෝගයකි. එහෙත් නිමාවූ ටෙස්ට් තරගාවලියේ දී සාර්ථකව ඊට මුහුණ දුන් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සමස්ත තරගාවලියේ දී පාකිස්තානු කඩුලු 12ක් තමන් සතුකරගත්තේය.

තමන්ට කිසිදු සහයක් නැති තණතිලිවල, විඩා නොතකා සිතේ වීරියෙන් ක්‍රීඩා කළ සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් සහ නවක ක්‍රීඩක ලහිරු ගමගේට නිසි ඇගයීම ලබා දෙමු. ඔවුන් අතරින් දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී අසාද් ශෆීක්ව දවා ගැනීම වෙනුවෙන් සුරංග ලක්මාල් දැක්වූ දස්කම නියමාකාර ටෙස්ට් ක්‍රිකට් වේගපන්දුකරණයක් ප්‍රදර්ශනය කළේය.

පන්දු ඕවර තුනක් පුරාවට පන්දුව පිතිකරු තුළට දෝලනය කරමින් පන්දු යැවූ ලක්මාල්, පිතිකරුට පෙන්වූයේ තමන් ඔහුව කඩුල්ල මුවා කිරීමකට හසුකරගන්නා බවකි. එහෙත් සිව්වැනි පන්දු ඕවරය තුළ දී කල් බලා එල්ල කළ පිටතට දෝලනය වන පන්දුව ශෆීක්ට කළ හැකි කිසිවක් ඉතිරි නොකළේ ස්ලිප් කලාපයට උඩපන්දුවක් ගමන්කිරීම හේතුවෙනි. ඒ රැවටීම සුන්දරය. එමෙන්ම පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී අසාර් අලී දවා ගන්නට යොමු කළ, පිටතට දෝලනය වන පන්දුව කිසිදු සමාවක් නොමැතිවම අසාර් අලීව ක්‍රීඩාගාරයට හරවා යැව්වේ නිරෝෂන් දික්වැල්ලට උඩපන්දුවක් ලබාදෙමිනි.

මේ සියල්ලටම වඩා කණ්ඩායමක් ලෙස එකාමෙන් ක්‍රීඩා කිරීමෙන් ලද හැකි ප්‍රතිඵලයන් මෙම තරගාවලිය තුළින් මනාව විද්‍යමාන විය. එමෙන්ම පන්දු රැකීම හොඳ මට්ටමක තිබුණි. පළමු ටෙස්ට් තරගය ලකුණු 21ක් වැනි සුළු ප්‍රමාණයකින් තරගකාරීව ජයගත් ශ්‍රී ලාංකිකයන්, දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 68කින් ජයගත්තේ එය තවදුරටත් ඉදිරියට ගෙන යමිනි.

රාජා, අපට සමාවන්න

රමීස් රාජාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සමාව අයදින තැනට ගෙන එන්නට පළමු ටෙස්ට් තරගය ප්‍රමාණවත් විය. ඔහු සමාව ගත් බව සැබෑය. එය අවසානයේ ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලූ රාජාගේ ප්‍රකාශය නැවතත් සිහිකරමු.

“ඔවුන් ඉන්නේ දුර්වල මට්ටමකයි. ඔවුනට නැගිටින්නට නොදී පහර දෙන්න.”

එහෙත් වචනවලින් කලබල නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකාමෙන් නැගිට තරගාවලිය අවසානයේ ලබා දුන් ප්‍රතිචාරය නම් මෙයයි.

‘රාජා, ඔබේ නිජබිමේ දී ඔබව ලැජ්ජාවට පත්කළාට සමාවන්න.‘

මීළඟ සංචාරය ඉන්දියාවට ය. එහිදීත් නොයෙක් රාජලා බිහි විය හැකි බැවින් මෙම දස්කම් ඉදිරියටම රැගෙන යාම කළ යුතුය. නායකයා සහ කණ්ඩායම එකට සිටිය යුතුය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජයවේවා!

—ද පපරේ ඇසුරෙනි—

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක