Menu

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සභාපති අත්අඩංගුවට..

October 10, 2017

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සභාපති අත්අඩංගුවට..

නිව්යෝක් නුවර සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 32කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට පොලිසිය සොයමින් සිටි ශලීල මුණසිංහ නමැත්තා ඊයේ(9) රාත්‍රියේ රහස් පොලිස් අත්අඩංගුවට ට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන අතරතුර සැකකාර ශලීල මුණසිංහ නමැත්තා නීතිඥවරුන් මාර්ගයෙන් අද රහස් පොලිසියට බාරවූ අතර සිද්ධියට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට ප්‍රමුඛ පෙළේ ගෑස් සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම් ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපති ලෙස ශලීල මුණසිංහ කටයුතු කරයි.

මොහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (හංසයා) සභාපතිවරයා ද වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015දී ජනපතිවරණයට ඉදිරිපත් වුයේ ද, සරත් ෆොන්සේකා 2010දී ජනපතිවරණයට ඉදිරිපත් වූයේ ද මෙම පෙරමුණ යටතේ ය.

මෙම සභාපතිවරයා එජාපයේ ඉදිරිපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ සමීපතමයකු බවද වාර්තා වේ.

මේ සභාපතිවරයා කොළඹ ප්‍රදේශයේ පිහිටි දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ හිමිනමකගේ විහාරස්ථානයක සැඟවී සිටින බවටද පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වූ හිටපු ජේ‍යෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයකුද වූ එම්. සී. නම්මුනි නමැති සැකකරුද ඉකුත් 06 වැනිදා කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත මොහු අත්අඩංගුවට ගනු ලැබිණි.

මෙම ජාවාරමෙන් ලබාගත් රුපියල් කෝටි ගණනක මුදලක් මෙම සභාපතිවරයා රැගෙන පලා ගොස් සැඟවී සිටි බවද පොලිසිය පවසයි. තායිවානයේ පිහිටි අදාළ බැංකුවට ඉකුත් 03 වැනි දින අලුයම් කාලයේ සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද හෙළිදරව් වී තිබේ.

මෙලෙස වංචනික ලෙස ලබාගත් මුදල් ලංකාව, ඇමෙරිකාව, වියට්නාමය, ඉන්දියාව ඇතුළු රටවල බැංකු ගිණුම්වලට බැරකර ඇති බවත් එම රටවල පුද්ගලයන්ද මෙම මහ පරිමාණ ජාවාරමට සම්බන්ධ බවටද හෙළිදරව් වී ඇත. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩලයක සභාපතිවරියක් මෙම ජාවාරමට සම්බන්ධ බවටද තොරතුරු හෙළි වෙමින් පවතින බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක