Menu

ශ්‍රී ලංකාවේ රෝස පන්දුවේ මංගල ජයට පාකිස්තානුවන්ගේ බාධා..

October 10, 2017

ශ්‍රී ලංකාවේ රෝස පන්දුවේ මංගල ජයට පාකිස්තානුවන්ගේ බාධා.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 317 ක ඉලක්කයක් හඹායමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටියේය.

අද තරගයේ අවසන් දිනය වන අතර තරගය ජයගැනීමට නම් පාකිස්තාන කණ්ඩායම අද දිනයේදී තවත් ලකුණු 119 ක් රැස්කළ යුතුය. ඒ සඳහා ඔවුන් සතුව අවසන් කඩුලු 5 ඉතිරිව ඇත.

හතර වන දිනයේ රාත්‍රී ආහාරය වන විට ලකුණු 52 කට කඩුලු 5 ක් බිඳවැටී අසීරු අඩියකට පත්ව තිබූ පාකිස්තාන ඉනිමට නව ජවයක් ලබාදුන් අසාද් ෂෆීක් (නොදැවී 86) සහ නායක සෆ්රාස් අහමඞ් (නොදැවී 57) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වීම නිසා ශ්‍රී ලංකාව සතුව තිබු තරඟය නැවතත් දෙපසටම දෝලනය වන තරඟයක් බවට මේ වන විට පත්ව ඇත.

පැය දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකා පන්දුයවන්නන් වෙහෙසට පත්කරමින් දුර්වල පන්දු පන්දුවලට පමණක් පහරදෙමින් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ලකුණු රැස්කළ සෆ්රාස් සහ ෂෆීක් පරාජයේ ආගාදයට යමින් සිටි පාකිස්තාන කණ්ඩායමට නැවතත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කළහ. ෂෆීක්ගේ 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත වූ අතර සෆ්රාස්ගේ 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත විය.

තේ පානයෙන් අනතුරුව ලකුණු 17 ක් ලබා සිටි අසාර් අලී පිටියෙන් ඉවත් කිරීමට නුවන් ප්‍රදීප් සමත් වූයේ ෂෝට් ස්ක්වෙයාර් ලෙග්හි පන්දු රකිමින් සිටි කෞෂාල් සිල්වාගේ සහායද ඇතිවය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ඩිල්රුවන් පෙරේරා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ සහාය ඇතිව හාරිස් සොහේල් (10) සහ ශාන් මසූද් (21) පිටියෙන් ඉවත් කළේය. ශාන් මසූද්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි බාබර් අසාම්, ලකුණු ලබාගැනීමටත් පෙර මුහුණදුන් දෙවැනි පන්දුවේදීම කෞෂාල් සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් ආපසු ක්‍රීඩාගාරය වෙත ගියේ ඩිල්රුවන්ගේ තෙවන කඩුල්ලද හිමිකර දෙමිනි.

පෙර පුවත- පාකිස්තානු පන්දු යවන්නන්ගෙන් මියැදුණු ශ‍්‍රී ලංකා කණ්ඩායමට දිල්රුවන් යළි ජීවය එක්කරයි

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක