Menu

‘මේ මාගේ අවසන් උත්සාහයයි’..අරවින්ද..මහේල ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ ගත්ත තීරණය මෙන්න

October 4, 2017

‘මේ මාගේ අවසන් උත්සාහයයි’..අරවින්ද..මහේල ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ ගත්ත තීරණය මෙන්න

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ගයන් මෙන්ම ඊට අදාළ සැලසුම් සහ මෙහෙයුම් කටයුතු ක්‍රියාවට නැංවීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද විශේෂ ක්‍රිකට් උපදේශක කමිටුවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ලබාදීම ඊයේ සවස් වරුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්යාලයේදී සිදුකරනු ලැබිණි.

මෙම නව ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයන් හට පත්වීම් ලිපි ලබාදීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් සිදු කරන ලද අතර මෙම උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ හිටපු සභාපතිවරයකු වන හේමක අමරසූරිය මහතාය. සෙසු සාමාජිකයන් ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන් වන අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන කටයුතු කරන අතර මෙම උපදේශක කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ රුවන් කෑරගල මහතාය. තවද එහි ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයා ලෙස ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පත්කර ඇත.

කෙසේ වෙතත් නව උපදේශක කමිටුව හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර පැය දෙකකට අධික කාලයක් පැවැති සාකච්ඡාවෙන් පසුව කමිටු සාමාජිකයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රිකට් ගොඩගැනීමේ අරමුණෙන් පැවැති වැඩමුළුවේදී හඳුනාගත් ප්‍රධාන කාරණා සම්බන්ධව නිසි පිළියම් සොයා ඒවා මාස 4ක් ඇතුළත ක්‍රියාත්මක කිරීම තම කමිටුවේ ප්‍රධාන රාජකාරිය බවයි. තවද මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහේල ජයවර්ධන කියා සිටියේ මින් පෙරත් තමන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ යෝජනා හා සැලසුම් ඉදිරිපත් කළද ඒවා ක්‍රියාත්මක නොවූ බවයි.

එහෙත් මෙවරත් සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට ඉදිරිපත් වුවද මෙම උත්සාහයද අසාර්ථක වුවහොත් මෙය තමන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වන අවසන් අවස්ථාව බවද මහේල කියා සිටියේය.

සංගක්කාරද එවන් අදහසක් මතු කළ අතර දැනගන්නට ඇති පරිදි වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව මාස තුනක් ඇතුළත වෙනස් කළ යුතු යැයි යන කොන්දේසියක්ද ඔවුන් විසින් ඉදිරිපත් කර ඇතැයි පැවැසේ. එසේ නොවුණහොත් මෙවර උත්සාහයෙන්ද පලක් නොවන බව ඔවුන්ගේ මතය වී ඇතැයි පැවසෙන අතර ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ මෙවන් විද්වත් උපදේශක කමිටුවක් හරහා මෙරට පසුබෑමකට ලක්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැඟීමට හැකි බවට තමාට දැඩි විශ්වාසයක් ඇති බවයි.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක