Menu

“තරඟාවලියට සන්නද්ධ ප්‍රහාර එල්ලකරන බවට අනතුරු අගවයි..?”

September 14, 2017

“තරඟාවලියට සන්නද්ධ ප්‍රහාර එල්ලකරන බවට අනතුරු අගවයි..?”

වසර අටකට පසුව පකිස්තාන් භූමියේ පැවැත්වෙන ලෝක අවධානයට ලක්වෙන ක්‍රිකට් තරඟාවලියේ තරඟ දෙකක් මේ දක්වා දින දෙකකදී ඉතා සාර්ථක ආකාරයෙන් දැඩි රැකවල් මැද පැවැත්වීමට තරඟ සංවිදායකයන් සමත්වී තිබේ.

2009 වසරේ මාර්තු මාසයේ පාකිස්තානයේ සංචාරය කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රහාරයකට ගොදුරු වීමෙන් පසු විදේශීය ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වැළකීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි.

එම ප්‍රහාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත් දෙනකු තුවාල ලද අතර ඒ සමඟ ආරම්භ වූ දීර්ඝ විරාමය නිම කරමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ තරඟ තුනක් සඳහා සහභාගී වන්නේ පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්චේදයක් සටහන් කරමිනි.

පාකිස්තාන් ක්‍රිකට් බලධාරීන්ගේ දැඩි ප්‍රයත්නයෙහි ප්‍රතිපලයක් වශයෙන් ආරම්භ වූ මෙම තරඟාවලිය සඳහා ඉතා දැඩි ආරක්ෂක විධි විධාන යොදා ඇති බව ලාහෝර් නගරයෙන් වාර්තා වෙයි.

2015 වසරේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට ලඟා වුනත් එම සංචාරය අතරවාරයේ ලාහෝර් ක්‍රීඩාංගණය ආසන්නයේ එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයක් නිසා එම සංචාරයට ද බාධා එල්ල විය.

මෙම තරඟාවලියේ සමාරම්භය සඳුදා (සැප්තැම්බර් 11) සනිටුහන් කෙරුණේ පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම් කරනු ලැබ ඇති ‘නිදහස් කුසලාන තරඟාවලියට’ (Independence Cup trophy ) අදාළ පුවරුව විචිත්‍ර උත්සවයක දී කණ්ඩායම් දෙකේ නායකයන් අතින් විවෘත කිරීමත් සමඟයි.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ ක්‍රීඩාංගණය තුළ පුහුණු වීම් ආරම්භ කළහ.මෙම විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමට රටවල් හතක ක්‍රීඩකයෝ ඇතුළත් වෙති.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා මෙම තරඟාවලියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම(World XI) නියෝජනය කරයි.

තරඟ පැවැත්වෙන ලාහෝර් නගරයේ ‘ගඩාෆි’ ක්‍රීඩාංගණය අසල ක්‍රීඩකයන් ලැගුම් ගන්නා හෝටල් අවට දැඩි ආරක්ෂක රැකවරණ යොදමින් එම කලාපය වසා තබා ඇති අතර තරඟාවලිය නිමවෙන තෙක් එම කලාපයේ රථ වාහන ගමනාගමනය සහ ව්‍යාපාරික කටයුතු අත්හිටුවා ඇත.

පාකිස්තානයේ දෙවැනි ප්‍රධාන නගරය වන ලාහෝරයේ 2009-13 අවධියේ උත්සන්නව පැවති ප්‍රචණ්ඩ ගැටුම්කාරී තත්වය මේවනවිට සමනය වී ඇති බව බලධාරීහු පවසති.

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණ ප්‍රහාරයේ දී පොලිස් භටයන් හය දෙනකු සහ ක්‍රිකට් තරඟ විනිසුරුවරුන් ප්‍රවාහනය කෙරෙමින් තිබුණ කුඩා බස්රියේ රියැදුරාද ඇතුළුව සාමාන්‍ය වැසියන් දෙදෙනකු මරණයට පත් වූ අතර එම ප්‍රහාරය පකිස්ථානය සහ ක්‍රිකට් ක්‍රීඩා ලෝකය කම්පනයට පත් කිරීමට හේතු විය.

එම ප්‍රහාරයට ගොදුරු වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ද මෙම සැප්තැම්බර් මාසය අගභාගයේ පාකිස්ථානයට ලඟාවීමට නියමිතයි.

මෙම තරඟාවලිය ඉලක්ක කරමින් සන්නද්ධ ප්‍රහාර කීපයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කරනු ලැබ ඇතත් ලාහෝර් නාගරික කොමසාරිස් අබ්දුල්ලා සුම්බට් බීබීසියට ප්‍රකාශයක් කරමින්, එවැනි ප්‍රහාරයක් වෙතොත් ඒවා මැඩලීමට ආරක්ෂක පියවර ශක්තිමත් කරනු ලැබ ඇතැයි කියා සිටියේය.

ලාහෝර් නිලධාරීන් පවසන පරිදි රථවාහන හැසිරවීමට සහ ආරක්ෂක කාර්යයන් උදෙසා අට දහසක පොලිස් බලකායක් නිරත කරනු ලැබ ඇති අතර අතිරේක හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන් ද ක්‍රියාත්මක වෙති.

ලාහෝර් ක්‍රීඩාංගනය ආසන්නයේ තාවකාලික රෝහලක් ද පිහිටුවා ඇති අතර ගිලන් රථ විස්සක් සූදානමින් තබා ඇත.

නගරයේ සාමාන්‍ය ජීවිතය අඩාල කරමින් ක්‍රිකට් තරඟ මාලාවක් පෙරට ගෙන යාමේ අර්ථය සම්බන්ධයෙන් විවේචකයන් මැසිවිලි පළ කර ඇතත් මෙම තරඟාවලියේ මහමොළකරු වන පකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා දැනට ක්‍රියාත්මක කෙරෙන දැඩි ආරක්ෂක විධි විධාන යුක්ති සහගත කරයි.

මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දැක්වූ සභාපතිවරයා “ඉහළ ප්‍රතිලාභ ලැබීමට නම් ජාතිය කුඩා පරිත්‍යාග සිදුකළ යුතුව ඇතැයි” කියා සිටියේය.

තරඟාවලිය අවසන් වීමට ඉතිරිව ඇති ඉදිරි දින දෙක මෙන්ම ඉදිරියේද පකිස්ථානය තුල සාමකාමී වාතාවරණයක් වුදාවෙවා යන්න ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීනගේද එකම පැතුමය.

-BBC ඇසුරෙනි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක