Menu

ශකීබ් ටෙස්ට් පිටියෙන් තාවකාලිකව ඉවත් වෙයි

September 11, 2017

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්, ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් මාස 6ක විරාමයක් ඉල්ලා සිටින බව වාර්තා වේ. ඔහු මෙම තාවකාලික විරාමය ඉල්ලා සිටින්නේ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගවලට පෙර කෙටි විවේකයක් අවශ්‍ය බව පවසමිනි.

බංගලාදේශ ක්‍රිකට් පරිපාලන මණ්ඩලයේ මාධ්‍ය අංශයේ ලේකම් ජලාල් යූනුස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ශකීබ් අල් හසන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් මාස 6කට ඉවත් වන බව තම ආයතනයට ලිඛිතව දැනුම් දුන් බවත්, ඔහුට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගවලට පෙර කෙටි විවේකයක් අවශ්‍ය බවත් එහි සඳහන් වූ බවයි.

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (10) දිනයේ දී රැස් වෙමින් මේ පිළිබඳව සඳහන් කළ අතර, ඔවුන් එසේ රැස් වූයේ එළඹෙන සැප්තැම්බර් 16 වන දා ජොහැන්ස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුතු සංචිතය නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා ය. ඒ අනුව ශකීබ් අල් හසන්ට මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව අහිමි වේ.

ශකීබ් අල් හසන් මේ වන විට ලොව සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරින් අයෙක් වන අතර මේ වන විට බංගලාදේශ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරයි.

පසුගිය අගෝස්තු මාසයේ දී නිමා වූ බංගලාදේශ – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී තම 50 වැනි ටෙස්ට් තරගයට සහභාගි වූ ශකීබ්, එහි දී කඩුලු 10ක් දවා ගැනීමට සමත් වූ අතර බංගලාදේශ ප්‍රථම ඉනිමේ දී ලකුණු 84ක් වාර්තා කරමින් විශිෂ්ට ලෙස දස්කම් දක්වන ලදි.

ශකීබ්ගේ විරාමය මේ වන විට බංගලාදේශ කණ්ඩායමේ අර්බුදයකට තුඩු දී ඇති  බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක