Menu

මිනීමරු ”නියෝස් විලේ” අභිරහස මෙන්න

August 9, 2017

අප්‍රිකානු මහද්වීපයේ කැමරූන් රාජ්‍ය යේ වනගත ප්‍ර දේශයක නියෝස් නැමැති විලක් පිහිටා තිබුණේය. එම විල අසල තිබූ ගම්මානයේ සතුන් එකා දෙන්නා හිටිහැටියේ මිය යමින් තිබිණි. නියෝස් විලට අරක්ගත් භූතයෙකු නිසා මෙය සිදුවන බව ගම්වාසින් විශ්වාස කළහ. එම නිසා ඔවුන් විල අසලටවත් යන්නට බිය විය. නමුත් හිටිහැටියේම නියෝස් විලේ භූතයා සැබැවින්ම ප්‍රාදුර්භූත විය. එවිට විල අසල පිහිටි ගම්මානයේ ගම්වාසින් 1746 දෙනෙකු ක්ෂණිකවම මිය ගියේය. එළුවන්, බැටළුවන් වැනි සතුන් 3500 කට අධික ප්‍රමාණයක් මියගියේය. පසුව මෙම කුප්‍රකට විල පිළිබඳ කරුණු සෙවීමේදී හමුවූයේ සැබෑ භූතයා අන් කිසිවෙකු නොව ස්වභාවධර්ම මාතාවගේ විරල සංසිද්ධියක් බවය. මීට වසර 400 කට පමණ පෙර නිර්මාණය වන්නට ඇතැයි සැලකෙන කැමරූන් හි නියෝස් විල පිහිටා ඇත්තේ අක්‍රීය ගිනි කඳු ආවාටයක් තුළය. අක්‍රීය ගිනි කඳු ආවාටයකට ජලය පිරීමෙන් මෙවැනි විල් නිර්මාණය වේ. ඒවා Volcanic Crater Lake වශයෙන් හඳුන්වනු ලබයි. මෙම විල් වල අභ්‍යන්තරයේ ඇති කුහර වලින් නිරන්තරයෙන් CO2 (කාබන්ඩයොක්සයිඩ්) වායුව විමෝචනය වෙයි. ඒවා ක්‍රමයෙන් විලෙහි එකතු වී වායුගෝලයට මුදා හැරෙයි. අනෙකුත් විල් එසේ වුවත් නියෝස් විල නම් අමුතුම විලකි. එහි රැස්වන CO2 වායුව වායුගෝලයට මුදා හැරෙනවා වෙනුවට විල තුලම රඳවා ගත්තේය. එවැනි රඳවාගැනීමක් ඉහළ ජල තලයේ ඇති පීඩනය නිසා සිදුවේ. කාලයාගේ ඇවෑමෙන් නියෝස් විලේ ජලය CO2 ගෑස් ටැංකියක් බවට පත්විය. අවසානයේ මෙම විලෙහි ඇතිවූ භූ කම්පාවක් නිසා මෙම ගෑස් ටැංකිය පුපුරා ගියේය. නියෝස් විල පුපුරා යන විට එහි පරිමාව ජල ස්කන්ධ එකකට CO2 වායු ස්කන්ධ 5 ක පමණ ප්‍රමාණයක් තිබෙන්නට ඇති බව පැවසේ. ඒ 1986 අගෝස්තු 21 වැනි දිනයි. විල අසල ගම්මානයේ මිනිසුන් සිදුවන්නට යන ව්‍යසනය ගැන හාන්කවිසියක්වත් දැන නොසිටියහ. විද්‍යාඥයින් විසින් Limnic eruption නමින් හඳුන්වන පිපිරුම් කිහිපයක් විල දෙසින් ඇසෙන්නට විය. තත්පර 20 පමණ පැවති එම පිපුරුමත් සමගම අඩි 300 ක් පමණ උසට සුනාමි රළ නැගිණි. ඒ සමගම කාලාන්තරයක් තිස්සේ සඟවාගෙන සිටි CO2 මාරයා නියෝස් විල මුදාහැරියේය. විලෙන් නිකුත් වූ CO2 වායුව ටොන් 100,000 – 300,000 අතර ප්‍රමාණයක් පැයට කිලෝමීටර් 100 ක පමණ වේගයෙන් අසල තිබූ ගම්මානයට කඩා පැන්නේය. ගොවිතැනින් සත්ව පාලනයෙන් ජීවිත ගැට ගහ ගන්නට වෙර දරමින් සිටි 800 කට අධික පිරිසකගේ හුස්ම හිරවිය. එතැනින් නොනැවතුණු එම ගෑස් වලාව සැතපුම් 15 ක් පමණ දුරකට ගමන් කළේ ගම්වැසියන්ගේ උදව්වට පැමිණි පිරිසද මරු තුරුළට ඇද දමමින්ය. අවසානයේ මෙම ව්‍යසනයෙන් 1746 දෙනෙකු මිය ගියේය. උස් කඳු මුදුන්වලට පලා ගිය ඇත්තෝ පමණක් බේරිණි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නියෝස් විලේ සිදුවූ මෙම ව්‍යසනයෙන් පසුව බලධාරීන් විසින් විල පතුලේ සිට ඉහළට නළයක් සවි කළේය. ඒ විලෙහි එකතු වන CO2 වායුව වායුගෝලයට මුදා හැරීමට පහසු වීමටය. නමුත් විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ මේ වායු හරණය ප්‍රමාණවත් නොවන බවයි. විල පතුලට එකතු වන CO2 ප්‍රමාණයේ හදිසි වැඩිවීමකට මෙය සොච්චම් විසඳුමකි. කෙසේ වෙත්ත අප්‍රිකානු මහද්වීපයේ බොහෝ රටවල මෙවැනි මාරාන්තික විල් බොහොමයක් දක්නට ලැබෙයි. විශේෂයෙන් කොංගෝ සහ රුවන්ඩා දේශසීමාවේ දක්නට ලැබෙන කියූ විලද මෙවැනිම ආකාරයේ මර උගුලකි. එය නියෝස් විල මෙන් 1000 ගුණයක් විශාලය. දෙපස අධික ජන ඝනත්වයක්ද ඇත. නමුත් දිනෙන් දින ඉහළ යන යුද ගැටුම් වලින් සහ දරිද්‍රතාවයෙන් බැට කන අප්‍රිකානු වැසියන්ට මේවා නම් සාමාන්‍ය විල්ය.   (hirufm.lk අසුරිනි..)

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක